අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ගේ කිලිනොච්චි විරෝධයට වසර 6 ක් : 'අපි අපේ ඥාතීන්ට සාධාරණය ඉටුවන තෙක් විරෝධතා පවත්වනවා'
Published
අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් විසින් තම සමීපතමයන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙස බලකරමින් කිලිනොච්චියේදී ඇරඹී අඛණ්ඩ වීදි විරෝධතාවට සඳුදා (පෙබරවාරි 20) වන දිනට වසර 6ක් සපිරිණි.
ඒ අනුව අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීහු ඊයේ දිනයේදී කිලිනොච්චි කන්දසාමි කෝවිල අසල සිට කිලිනොච්චි නගර මධ්‍යයේ පිහිටි යුධ ස්මාරකය වෙත පා ගමනින් පැමිණ විරෝධතාවයේ නිරත වුහ.
ඔවුහු කියා සිටියේ යුද්ධය අවසන් වී වසර 13 ක් ගත වු පසුවත් තමන්ට යුක්තිය ඉටුවීම පිළිබඳව කිසිඳු බලාපොරොත්තුවක් ඇතිකරගැනීමට නොහැකි වී ඇති බවයි.
''ජාත්‍යන්තර අපරාධ නීතිය හරහා වැරදිකරුවන්ට දඬුවම් ලබා දී අපිට සාධාරණය ඉටු කරයි කියන විශ්වාසය මත තමයි අපි මේ විරෝධතාවය පවත්වන්නේ '' යනුවෙන් විරෝධතාවයට එක්ව සිටි අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ ලේකම් ශිවානන්ද ජෙනිටා පැවසුවාය.



