කෝප් වාර්තාව: එජාපයේ මත ගැටුමක්

වීඩියෝ ශීර්ෂ වැකිය, කෝප් වාර්තාව: එජාපයේ මත ගැටුමක්
Published

මහබැංකු බැඳුම්කර ගණුදෙනුවට සම්බන්ධ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට අපරාධ චෝදනා එල්ලකර ඔවුන් අත්අඩංගුවට ගතයුතු බවට නියෝජ්‍ය ආමාත්‍ය අජිත් පී. පෙරේරා කළ ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂයේ මතය නොවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා පවසන පරිදි, යමෙකු අත්අඩංගුවට ගතයුතු යැයි නිර්දේශ කිරීමේ හැකියාව කෝප් කමිටුවට නැති බව අද (ඔක්.26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

කෝප් කමිටුව, එවැනි නිර්දේශ නිකුත්කිරීමේ හැකියාව ඇති පරීක්ෂණ අංශයක් නොවන බව පෙන්වා දුන් සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අජිත් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය ඔහුගේ පුද්ගලික නිර්දේශයක් විය හැකි බව ය.

ලැදියාවන් අතර ගැටුම

හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ආරක්ෂා කිරීමේ කිසිදු අවශ්‍යතාවක් තමාට නැති බව කී ඔහු, හිටපු මහා බැංකු අධිපතිවරයා හා අදාළ සමාගම අතර ලැදියාවන් අතර ගැටුමක් බවතින බව මුළින් ම ප්‍රකාශ කළේ තමා බව ද කියා සිටියේ ය.

කෝප් කමිටුවේ සාකච්ඡා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම නීත්‍යනුකූල නොවන අතර වෙනත් මන්ත්‍රීවරුන් එසේ ක්‍රියා කළ ද, තමන් එසේ නොවන බව කීය.

කෝප් වාර්තාව නිකුත්වූ පසු ඒ පිළිබඳ ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දීමට තමන් සුදානම් බව ද ඔහු කියා සිටියේ ය.