සජීවී., මීගමුව බන්ධනාගාරයේ අද උදෑසන නොසන්සුන්තාවයෙන් 5 දෙනෙක් මරුට: තිදෙනෙක් නිලධාරීන්

මීගමුව බන්ධනාගාරය තුළ නැවතත් නොසන්සුන්තාවක් ඇති වී ඇතැයි එම ස්ථානයේ සිටින බීබීසී සිංහල වාර්තාකරු පවසයි. බන්ධනාගාරයේ ගේට්ටුව අසලට පොලිස් කැරළි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ඇති බවත්, බන්ධනාගාරය තුළින් නොනවත්වා වෙඩි ශබ්ද ඇසෙන බවත් අප වාර්තාකරු පැවසීය.

සාරාංශය

  • අද උදෑසන ගැටුමෙන් 5ක් මරුට. තිදෙනෙක් නිලධාරීන්
  • මීගමුව බන්ධනාගාරය තුළ නැවතත් නොසන්සුන්තාවක්
  • බන්ධනාගාරය තුළ වෙඩි හඬවල් ඇසෙන බවට බීබීසී වාර්තාකරු පවසයි
  • විශේෂ කාර්ය බළකා සහ කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් බන්ධනාගාරය තුළට ඇතුළු වෙති
  • ඊයේ දිනයේ ඇතිවූ ගැටුමෙන් දෙදෙනෙකු මිය ගොස් 39 දෙනෙකු තුවාල ලබා තිබිණි

සජීවී වාර්තාකරණය

බීබීසී සිංහල කණ්ඩායම මීගමුවේ සහ කොළඹ සිට

  1. Breaking, අද උදෑසන නොසන්සුන්තාවයෙන් 5 දෙනෙක් මරුට: නිලධාරීන් තිදෙනෙකුත් ඒ අතර

    අද උදෑසන මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් අවම වශයෙන් 35කට අධික පිරිසක් රෝහල්ගත කර ඇතැයි මීගමුව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂවරිය බීබීසී සිංහල වෙත පැවසුවා.

    මෙම ගැටුම හේතුවෙන් 5 දෙනෙකු මියගොස් ඇති අතර ඔවුන් අතරින් තිදෙනෙකු "නිලධාරීන්" බවත්, දෙදෙනෙකු රැඳවියන් බවත් ඇය පැවසුවා.

    මේ වන විටත් තවත් තුවාලකරුවන් රෝහල වෙත රැගෙන එන බව පැවසූ ඇය තවදුරටත් සඳහන් කළේ තුවාල ලැබූවන්ගේ තුවාලවල ස්වභාවය මේ දක්වා නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ය.

  2. Breaking, බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්

    Negombo Prison

    බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් "විශාල පිරිසක්" ඒ අසලට පැමිණ සිටින බවත් මේ වන විට ඔවුන් සහ පොලිසි අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවත් අප වාර්තාකරු පවසනවා.

    ඔහු පැවසුවේ, එම පිරිස බන්ධනාගාරය තුළට එක් පසකින් ඇතුළු වීමට උත්සහ කරන ආකාරය නිරීක්ෂණය වන බව ය.

  3. Breaking, බන්ධනාගාරය තුළට STF සහ පොලිස් නිලධාරීහු ඇතුළු වෙති

    මීට කෙටි වේලාවකට පෙර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ කැරළි මර්දන නිලධාරීන් බන්ධනාගාරය තුළට අතුළු වූ බව අප වාර්තාකරු පැවසුවා.

  4. තුවාල ලැබූ බවට සැකකරන කිහිප දෙනෙකු බන්ධනාගාරයෙන් පිටතට රැගෙන එයි

    තුවාල ලැබූ බවට නිරීක්ෂණය වන බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා.

    Negombo Prison
    Negombo Prison
  5. මීගමුව බන්ධනාගාරයේ නැවතත් නොසන්සුන්තාවක්

    ඉරිදා දින මීගමුව බන්ධනාගාරය තුළ ඇතිව තිබුණු ගැටුම්කාරී තත්ත්වය සමථයකට පත්ව ඇතැයි බලධාරීන් පැවසුව ද ඒ තුළ යළි නොසන්සුන් තත්ත්වයක් ඇතිව ඇතැයි එහි සිටින බීබීසී සිංහල වාර්තාකරු පවසනවා.

    ඔහු සඳහන් කළේ, බන්ධනාගාරය තුළින් නොනවත්වා වෙඩි ශබ්ද ඇසෙන බවයි.

    තුවාල ලැබූ බවට නිරීක්ෂණය වන බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන ආකාරය දක්නට ලැබුණු බව ද ඔහු පැවසුවා.