ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව වෛද්‍ය සැපයුම් මිල දී ගැනීම: කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධූරය දැරූ සමයේ ඖෂධ මිලදී ගැනීම් ගැන වෝහාරික විගණනයක්

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කාලසීමාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකළ ඖෂධ සහ වෛද්‍ය සැපයුම් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන කටයුතු ගැන රජයේ විගණකාධිපතිවරයා වෝහාරික විගණනයක් කරන බව නීතිපතිවරයා අද (මාර්තු 30 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මෙම දැනුම් දීම කළේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද කැඳවනු ලැබිණි.

මිලදී ගැනීම් 600කට අධික සංඛ්‍යාවක් විගණන විමර්ශනයට

ඉකුත් කාලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් සිදු කළ ඖෂධ හා වෛද්‍ය සැපයුම් මිලදී ගැනීම් තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු එම අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් වග උත්තරකරුවන් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නිතිඥ සෙනානි දයාරත්න අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම පවත්වාගෙන යාම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දැනටමත් අවසර ලබාදී තිබෙන බවත් එය විභාගයට ගැනීම සඳහා දින නියම කරන ලෙසයි.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන කාලසීමාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකළ ඖෂධ සහ වෛද්‍ය සැපයීම් මිලදී ගැනීම් වලට සම්බන්ධ ප්‍රසම්පාදන කටයුතු පිළිබඳව රජයේ විගණකාධිපතිවරයා විසින් වෝහාරික විගණනයක් කරන බව දැනුම් දුන්නේය.

මීට අදාළව මිලදී ගැනීම් 600කට අධික සංඛ්‍යාවක් විගණන විමර්ශනයට භාජනය වී ඇති බවත් ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද මෙම කරුණු සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් කරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දී සිටියේය.

මේ අවස්ථාවේදී වග උත්තරකරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු කරුණු දක්වමින් තමන් ඉදිරිපත් කළ මෝසමකට අදාළව එක් විනිසුරුවරයෙකු විසින් පමණක් තීරණයක් ලබාදී තිබෙන බව සඳහන් කළේය.

ඉදිරිපත් ක කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වගඋත්තරකාර පාර්ශ්වය ඉදිරිපත් කළ මෝසමක් පිළිබඳව කරුණු තහවුරු කිරීම සඳහා මෙම නඩුකරය යළි මැයි මස 20 වැනිදා කැඳවන ලෙස නියම කර සිටියේය.