විදුලි කප්පාදුවක් ගැන බලශක්ති ඇමති අද පාර්ලිමේන්තුවේදී සැබවින් ම කීවේ කුමක් ද?

kumara Jayakody

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Getty

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

'බාල ගල් අඟුරු' සහ ලෝකයේ පවත්නා බලශක්ති අර්බුදය හමුවේ ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බවට යම් ඉඟියක් පළ වන ආකාරයේ කතාබහක් අද (මාර්තු 17) පාර්ලිමේන්තුවේදී සිදු විය.

මෙම සංවාදය ඇති වූයේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ ප්‍රශ්නයකින් පසුව ය.

ඔහු එහිදී පෙන්වා දුන්නේ, මෙරට විදුලි බලාගාරවලින් නියමිත විදුලි ප්‍රමාණයන් උත්පාදනය නොවන තත්ත්වයක් තුළ ඉදිරියේදී ඩීසල් විදුලි උත්පාදනයට යොමුවීමට සිදුවිය හැකි බව ය.

එසේ වුවහොත්, විදුලි මිල වැඩි වීමේ අවදානමක් මෙන් ම, ඩීසල් හිඟය නිසා ඇති වන අවදානමකට මුහුණ දීමට සිදුවනු ඇතැයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය.

විපක්ෂ නායකවරයා හෙළි කළ තොරතුරු

"අපේ රටේ විදුලි උත්පාදනය කරන බලාගාරවලින් නිශ්චිතව විදුලිය උත්පාදනය නොවෙනකොට යන්න සිද්ධ වෙනව, ඩීසල් බලාගාරවලට. එහෙම ගිහිල්ල විදුලිය උත්පාදනය කරනකොට එක පැත්තකින් පාරිභෝගිකයින්ගෙ මිල වැඩි වෙනව. ලෝකයේ නිර්මාණය වෙලා තියෙන ඩීසල් හිඟතාව තුළ එතනත් ප්‍රශ්නයක් එනව. සමහර විට විදුලි කප්පාදුවලට යන්න සිද්ධ වෙනව," විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැහැදිලි කළේ ය.

මේ අතර, පසුගිය දින 4ක කාලය තුළ නොරොච්චෝලෙයි විදුලි බලාගාරයෙන් උත්පාදන කෙරෙන විදුලි ප්‍රමාණයෙහි අඩුවක් සිදුව ඇතැයි ඔහු පැවසීය.

"13 වෙනි දා නොරොච්චෝලෙයි විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය මෙගාවොට් 130කින් අඩු යි. 14 වෙනි දා මෙගාවොට් 135කින් අඩු යි. ඒ වගේ ම 15 වෙනි දා මෙගාවොට් 132කින් අඩු යි. ඒ වගේ ම, 16 වෙනි දා මේ ඊයෙ දවසේ මෙගාවොට් 148කින් අඩු යි."

"දැන් මේ අඩු වුණ ප්‍රමාණය මේ මදිපාඩුව අනිවාර්යයෙන් ම ඩීසල් බලාගාරවලින් ලබාගන්න සිද්ධ වෙනව. ඒ තත්ත්වය තුළ අද ලෝකයේ නිර්මාණය වෙලා තියෙන මේ හිඟතාවය තුළ ඇත්ත වශයෙන් ම බරපතළ ප්‍රශ්නයක් නිර්මාණය වෙනව. PUCSL එක කියල තියෙනව, අප්‍රේල්, ජූනි, ජූලිවල විදුලි කප්පාදුවක් සිද්ධ වෙනව කියල. මොකක් ද ඔබතුමන්ලා මේ අනාරක්ෂිත අවදානම් තත්ත්වයට විසඳුමක් ලබා දෙන්නට අරගෙන තිබෙන පැහැදිලි සැලැස්ම?"

'කපන්න වෙන වෙලාවකුත් තියෙන්න පුළුවන්' - බලශක්ති ඇමති

විපක්ෂ නායකවරයාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ කළේ, මෙරට ඉන්ධන ගබඩා කිරීමට පහසුකම් ඇත්තේ, දින 22ක් සඳහා පමණක් බව ය.

දින 45කට අවශ්‍ය ඉන්ධන ගබඩා කිරීමට අවශ්‍ය ටැංකි ඉදිකිරීම ආරම්භ කර ඇති බව ද ඔහු පැවසීය.

රටේ පවතින ඉන්ධන ගබඩා පුරවා තිබූ බවත්, අගෝස්තු මාසය වන තෙක් ඉන්ධන ඇණවුම් කර තිබූ බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර, ඔහු විදුලි කප්පාදුව සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයට දැක්වූ පිළිතුර මෙසේ ය.

"අපේ රජයේ කළමනාකාරීත්වය හින්ද තාම එක විනාඩියක්වත්, එක පැයක්වත් කරන්ට් එක කපන්නෙ නැතුව අපි ගෙනියනවා. ඒකෙ වියදමක් තියෙනවා තමයි. ඒකට තමයි ආණ්ඩුවක් ඉන්නෙ. හැබැයි කපන්න වෙන වෙලාවකුත් තියෙන්න පුළුවන්. අපි පුළුවන් තරම් ජනතාවට සහන සලසල කර්මාන්ත ද හැම දෙයක් ම සාමාන්‍ය විදිහට ගෙනියන්න උපරිම උත්සහය තමයි අපි මේ ගන්නෙ. විපක්ෂය කියන විදිහට හිතුවොත් කලින් ම කපන්න තිබුණා, මේ මාසෙ මුල. අපි ඊට වැඩිය මේ රටේ ජනතාව, කර්මාන්ත ගැන හිතනවා. ඒකෙ ප්‍රතිඵල තමයි, අපි මේ කළමනාකරණය කරගෙන යන්නෙ. හැබැයි, අපිට ඒවා මාස ගාණකට ප්ලෑන් කරන්න බැහැ."