බොලිවුඩ් නළු ටයිගර් ෂ්රොෆ්ට වෙඩි තැබීමේ සිද්ධිය පිටුපස මැර කල්ලියක්?

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

මුම්බායි හිදී සිදුවූ වෙඩි තැබීමකින් බොලිවුඩ් නළු ටයිගර් ෂ්රොෆ් දිවි ගලවාගෙන ඇති අතර, ඔහුට වෙඩි වැදීමෙන් කිසිදු තුවාලයක් සිදුවී නොමැති බව එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ඉන්දීය පොලිසිය පවසයි.

36 හැවිරිදි වියේ පසුවන ඔහු, ඉරිදා සවස ජුහු නගරයේ පිහිටි පාපන්දු සමාජ ක්‍රීඩාංගණයක් අසලින් මෝටර් රථයකින් පිටව යමින් සිටියදී මෙලෙස වෙඩි තැබීමට ලක්ව ඇත.

අවම වශයෙන් තුවක්කුකරුවන් දෙදෙනෙකු ජනතාව අතරින් සෙමින් ඉදිරියට යමින් තිබු එම රථයේ ඉදිරිපස මගී අසුන දෙසට ඉතා ආසන්නයේ සිට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ප්‍රවෘත්ති ආයතන කිහිපයක් විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

මෑත වසරවලදී ඉන්දියාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිපදෙනෙකු ඉලක්කගත ප්‍රහාරවලින් මියගොස් හෝ තුවාල ලබා ඇති අතර, මෙම සිද්ධිය එවැනි පුද්ගලයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින කනස්සල්ල තවදුරටත් ඉහළ ගොස් ඇත.

"මිනිසුන් බිය ගැන්වීමට දරන මෙවැනි උත්සාහයන් අපි ඉවසන්නේ නැහැ. මේ මැර ක්‍රියාකාරකම්වලට අවසානයක් ගෙන එනවා," යැයි මුම්බායි පිහිටි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය එක්නාත් ෂින්දේ ප්‍රකාශ කළේය.

ඉරිදා සවස සිදුවූ වෙඩි තැබීමෙන් පසුව ඔහු ෂ්රොෆ්ව හමුවීමට ගොස් ඇති අතර, මෙම ප්‍රහාරය හේතුවෙන් නළුවා සහ ඔහුගේ මව දැඩි ලෙස කම්පනයට පත්ව ඇති බව පැවසීය.

වෙඩි තැබීමෙන් ෂ්රොෆ්ගේ රියදුරා ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි, පොලිසිය සඳහන් කළ බව දේශීය මාධ්‍ය වාර්තා කළේය.

මෙය පසුගිය වසර කිහිපය තුළ රටේ ප්‍රසිද්ධම පුද්ගලයන් කිහිපදෙනෙකු ඉලක්ක කරගෙන සිදුවූ ප්‍රහාර මාලාවක නවතම සිද්ධිය වේ.

2024 දී බොලිවුඩ් නළු සල්මාන් ඛාන්ගේ නිවස ඉලක්ක කරගෙන සිදුකළ වෙඩි ප්‍රහාරයකට සම්බන්ධ අපරාධ කල්ලියක සාමාජිකයන් දෙදෙනෙකු ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය

එම වසරේදීම බලගතු ඉන්දීය දේශපාලනඥයෙකු වූ බාබා සිද්දික් මුම්බායිහිදී වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

නළු නිළි යුවලකගේ පුත්‍රයෙකු වන ටයිගර් ෂ්රොෆ්, 2014 වසරේ Heropanti ආදර චිත්‍රපටය හරහා සිය රංගන දිවිය ආරම්භ කළ අතර අනතුරුව චිත්‍රපට ගණනාවක රඟපෑවේය.

වෘත්තීය පාපන්දු සමාජයක් වන මුම්බායි පාපන්දු ක්‍රීඩා සමාජය සඳහා ක්‍රීඩා කරන ඔහු පාපන්දු ක්‍රීඩාවට ද දැඩි ඇල්මක් දක්වන පුද්ගලයෙකි.

බොලිවුඩ් නළු ටයිගර් ෂ්රොෆ් ඉලක්ක කර ගනිමින් සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ සහ ආරක්ෂාව පාලනය කිරීමට අපොහොසත් වීම පිළිබඳව ආම් ආද්මි පක්ෂයේ (AAP) ජාතික කැඳවුම්කරු අරවින්ද් කෙජ්රිවාල් ඉරිදා දිනයේදී මධ්‍යම රජය දැඩි ලෙස විවේචනය කළේය.

මධ්‍යම රජය විසින් ඉන්දියාවේ ලොකුම මැර කල්ලි නායකයෙකු වන ලෝරන්ස් බිෂ්නෝයි තමන්ගේ බෑනා මෙන් සලකමින්, ඔහුට ඉන්දියාවේ පමණක් නොව මුළු ලෝකය පුරාම අපරාධ සිදු කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා දී ඇති බවට කෙජ්රිවාල් 'X' (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් චෝදනා කර තිබේ.