එයාර් බස් අල්ලස් සිද්ධිය: නාමල් රාජපක්ෂට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් නියෝගය

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 2

එයාර්බස් අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂව නොවැම්බර් මස 19 වැනිදා බන්ධනාගාරය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (ඔක්තෝබර් 28 වැනිදා) නියම කළේය.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුකරය ප්‍රියන්ත ලියනගේ ප්‍රමුඛ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබිණි.

එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර නාමල් රාජපක්ෂව අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

'ඇප ඉල්ලීමක් කිරීමට තමන් අපේක්ෂා කරනවා'

මෙහිදී දැනුම්දීමක් නොතිබීම හේතුවෙන් පැමිණිල්ල මෙහෙයවන අල්ලස් කොමිසම වෙනුවෙන් එහි නීතිඥවරු අධිකරණයේ පෙනී සිටියේ නොමැත.

සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධනගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

මෙහිදී ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරයේ පැමිණිල්ල මෙහෙයවන අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මෙම විත්තිකරු සම්බන්ධයෙන් ඇප ඉල්ලීමක් කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.

ඉන් අනතුරුව මෙම නඩුකරය නැවත නොවැම්බර් මස 19 වැනිදා කැඳවීමට නියම කළ අධිකරණය එදින බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂව බන්ධනාගාරය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් නියම කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ශමින්ද්‍ර රාජපක්ෂ, බිස් සොලියුෂන් සමාගම සහ ප්‍රියංකා නියෝමාලි විජේනායක යන විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.