නාමල්ගේ ඇප නියෝගය සූදානම් කර ගැනීමට නොහැකි වූ බව මහේස්ත්‍රාත් දැනුම් දෙයි: ජානකී සිරිවර්ධනට නියෝගයක් දෙයි

Published
කියවීමේ කාලය: මිනිත්තු 2

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන තවදුරටත් ඔක්තෝබර් 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

ඒ, එම නඩුව අද (ඔක්: 16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ය.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන යන අයගේ ඇප ඉල්ලීම්වලට අදාළ නියෝග අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.

එහෙත්, නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රත්වරයා ප්‍රකාශය කළේ, සැකකාර ජානකී සිරිවර්ධනගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පමණක් අද ප්‍රකාශයට පත් කරන බව ය.

සැකකාර නාමල් රාජපක්ෂට අදාළ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය තමන්ට සූදානම් කර ගත නොහැකි වූ බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා, එම නියෝගය මීළඟ නඩු දිනයේදී ප්‍රකාශයට පත්කරන බව සඳහන් කළේ ය.

ඉන් අනතුරුව සැකකාර ජානකී සිරිවර්ධනගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, ''දූෂණ විරෝධී පනතේ 149 වන වගන්තිය ප්‍රකාරව ඇප ප්‍රදානය කිරීම සඳහා සුවිශේෂී කරුණු අධිකරණය හමුවේ තෘප්ත කළ යුතු යි. නමුත් මෙම සැකකාරිය සම්බන්ධයෙන් ඇප ඉල්ලීම්වලට අදාළව ඉදිරිපත් වූ කරුණුවලින් අදාළ නීතිමය ප්‍රතිපාදන තෘප්ත කළ හැකි කරුණු ඉදිරිපත් කර නැහැ," යනුවෙන් පැවසූ අතර ඒ අනුව සැකකාරියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ද සඳහන් කළේ ය.

ඒ අනුව, සැකකාර ජානකී සිරිවර්ධන සහ නාමල් රාජපක්ෂ යන අය ලබන 23 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට ද මහේස්ත්‍රාත්වරයා නියම කළේ ය.

එදින සැකකාර නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

ක්‍රිෂ් සමාගමේ කටයුතුවලට අදාළව රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් වශයෙන් ලබාදීම සහ ලබාගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කර තිබිණි.