ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රජයේ රැකියාවක් නොකරන ඔබ සියලු දෙනාට විශ්‍රාම වැටුපක් ලබාගත හැකි බව දැන සිටියා ද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
රජයේ රැකියාවක් ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු කැමැත්තක් දක්වන අතර, ඊට ප්‍රධානතම හේතුවක් වන්නේ, රජයේ සේවකයින්ට විශ්‍රාම වැටුපකට හිමිකම් ලැබීම ය.
රැකියාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව තමන්ට හෝ තම කලත්‍රයාට පමණක් නොව ඇතැම්විට දරුවන්ට ද විශ්‍රාම වැටුප ප්‍රතිලාභ හිමි වෙයි.
එය විශ්‍රාම ගැනීමෙන් පසු ජීවිතය ගත කිරීමට රජයේ සේවකයින්ට මහත් රුකුලක් වී තිබේ.
රජයේ රැකියාවල නිරත වන බොහෝ පිරිසකට එම වරප්‍රසාදය හිමි වුව ද, පෞද්ගලික අංශයේ හෝ වෘත්තියක නියැලෙන පිරිස්වලට එම වරප්‍රසාදය නොලැබේ. ඊට අමතරව, රාජ්‍ය බැංකු ආදී ක්ෂේත්‍ර කිහිපයක ද විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ නැත.
එලෙස රැකියාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් නොමැති පුරවැසියන් සඳහා සමාජ ආරක්ෂණ මණ්ඩලය හරහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක වන බව ඔබ දැන සිටියා ද?
මෙම විශ්‍රාම වැටුප ක්‍රියාත්මක කරන්නේ ඇයි?
"සමාජ ආරක්ෂණ මණ්ඩලය පිහිටුවලා තියෙන්නේ රාජ්‍ය විශ්‍රාම වැටුපක් නොමැති පුද්ගලයන් සඳහා ඔවුන්ගේ සමාජ ආරක්ෂාව හා විශ්‍රාම වැටුප් අවශ්‍යතාව ඉටු කිරීම සඳහා," බව එම මණ්ඩලයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරි කල්හාරි ද සිල්වා පැවසීය.
මෙරට සේවා නියුක්තිකයන්ගෙන් 55%ත් - 60%ත් අතර ප්‍රතිශතයක් අවිධිමත් අංශයේ රැකියා කරන පිරිස බවත්, ඔවුන්ගේ සමාජ ආරක්ෂණ අවශ්‍යතාව හා විශ්‍රාම වැටුප් අවශ්‍යතාව ඉටු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය පිහිටුවා ඇති බව ඇය සඳහන් කළා ය.
විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම මොනවා ද?
වෘත්තිය අනුව විශ්‍රාම වැටුප් සැලසුම් කිහිපයක් ම සමාජ ආරක්ෂණ මණ්ඩලය ක්‍රියාත්මක කර ඇති බවත්, පොදුවේ වයස අවුරුදු 60 ඉක්මවූ පසුව ලබා ගත හැකි ලෙස සුරැකුම නමින් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වන බව එම මණ්ඩලයේ ප්‍රවර්ධන කළමනාකරු ඩී.එස්. ලක්මාල් පැවසීය.
එම විශ්‍රාම වැටුප වයස අවුරුදු 60 ඉක්මවූ පසුව ජීවිත කාලය පුරාම ලබා ගත හැකි අතර එමෙන්ම කලාත්‍රායාට පවා එහි හිමිකම් ලබා ගැනීමේ අවස්ථාව සලසා දී ඇති බව ද ඔහු කියා සිටියේ ය.
සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් සුරැකුම, ආරස්සාව, විගමනික, කලාකරු හා නාවිකයා මැයෙන් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම කිහිපයක් ක්‍රියාත්මක කරනු ලබයි.
- සුරැකුම - මෙම යෝජනා ක්‍රමය වයස අවුරුදු 18ට වැඩි සහ 59ට අඩු රජයේ විශ්‍රාම වැටුපක් සහිත රැකියාවක නොයෙදෙන පුද්ගලයන් සඳහා ක්‍රියාත්මක වන යෝජනා ක්‍රමයකි. 'සුරැකුම යෝජනා ක්‍රමය වයස අවුරුදු 18 - 59 අතර අයටයි. සාමාජිකයින්ට ඕනෑම මුදලක් සඳහා සම්බන්ධ විය හැක. විශ්‍රාම වැටුප් ප්‍රමාණය සහ ගෙවීමේ විකල්පය සාමාජිකයාට ඔවුන්ගේ කැමැත්ත මත තීරණය කළ හැක'
- ආරස්සාව - උපතේ සිට වයස අවුරුදු 17 දක්වා වන දරුවන් වෙනුවෙන් හඳුන්වා දී ඇති පූර්ව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් වන මේ යටතේ දෙමාපියන් හෝ භාරකරුවෙකුගේ භාරකාරත්වය යටතේ දරුවෙකු සාමාජිකයෙකු බවට පත් කළ හැකි අතර, වයස අවුරුදු 18 වන විට ගිණුම කල් පිරේ. එම කල්පිරුණු ගිණුමේ ශේෂය පදනම් කොට 'සුරැකුම' යෝජනා ක්‍රමයට එකවර මුදල් ගෙවා දායක කිරීම සඳහා අන්තර්ග්‍රහණය කරනු ලබන බව සමාජ ආරක්ෂණ මණ්ඩල වෙබ් අඩවියේ සඳහන් කර ඇත.
- විගමනික - මෙම විශ්‍රාම වැටුප් සැලසුම විගමනික ශ්‍රමිකයින්ගේ සමාජ ආරක්ෂණය සහතික කරමින් විශ්‍රාම ජීවිතය ගත කිරීමට අවශ්‍ය මූල්‍යමය රැකවරණය සැපයීම සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව හදුන්වා දෙන විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයකි. වයස අවුරුදු 18ත් 59ත් අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් "විගමනික ශ්‍රමික" විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ.
- කලාකරු - වයස අවුරුදු 23ත් 55ත් අතර රාජ්‍ය විශ්‍රාම වැටුප් හිමිකම නොමැති ශ්‍රී ලාංකික කලාකරුවන් සඳහා කලාකරු විශ්‍රාම සැලසුම හඳුන්වා දී ඇති බව සමාජ ආරක්ෂණ මණ්ඩලය පවසයි. නාට්‍ය, රංගන, මූර්තිකරණ, ගායන, චිත්‍ර, කැටයම්, බෙර වාදනය, සංගීත වාදනය, විවිධ නර්තන, සිනමා, සාම්ප්‍රදායික කලාව, සැරසිලි කලාව, තොරණ, ග්‍රන්ථකරණය, ලේඛන කලාව, සාහිත්‍ය, බෙර/සංගීත උපකරණ නිෂ්පාදනය, නර්තන මෙවලම්, රුක් කලාව, ගීත/පිටපත් රචනය, තනු නිර්මාණ, සංගීත නිර්මාණ, කැමරාකරණය, පසුතල නිර්මාණ, වේෂ නිරූපණ, හඬ කැවීම්, රූපවාහිනී කලාව, වීදි නාට්‍ය, නක්ෂත්‍ර හා ජ්‍යොතිෂය වැනි අංශවල කලාකරුවන්ට මෙම යෝජනා ක්‍රමයට දායක වීමට අවකාශ සලසා දී තිබේ.
- නාවිකයා - වයස්ගත වීම, රැකියා ආශ්‍රිත හදිසි අනතුරු, රැකියා හේතු කරගෙන ඇති වන රෝගී තත්ත්වයන්, අකර්මණ්‍යතා, පවුල් ප්‍රතිලාභ සහ යැපෙන්නන්ගේ ආරක්ෂාව යන ක්ෂේත්‍රයන්හි අවශ්‍ය සමාජ ආරක්ෂාව සැපයීම අරමුණු කොටගෙන, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය හා වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය ඒකාබද්ධව වෙළෙඳ නාවිකයන් සඳහා නාවිකයා විශ්‍රාම සැලසුම හඳුන්වා දී තිබේ.
සමාජ ආරක්ෂණ මණ්ඩලයේ නිල වෙබ් අඩවියට පිවිස විශ්‍රාම සැලසුම් පිළිබඳව වැඩි විස්තර ලබා ගත හැකි අතර ඔබට අවශ්‍ය ප්‍රතිලාභ අනුව වාරික ගණනය කිරීමේ හැකියාව ද වෙබ් අඩවියේ පවතී.
විශ්‍රාම වැටුප් දායක මුදල් ගෙවීම සහ ප්‍රතිලාභ ලබා ගැනීම
විශ්‍රාම වැටුපට දායක වී එහි ප්‍රතිලාභ ලබා ගත හැකි ආකාරය උදාහරණ දක්වමින් සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති කේ.බී. දිසානායක පැහැදිලි කළේ ය.
"වයස අවුරුදු 30ක කෙනෙකුට අවුරුදු 60ට පිරුණට පස්සේ රුපියල් 50,000ක විශ්‍රාම වැටුපක් ලබන්න නම් එයා එකවර ගෙවනවා නම් එයාට ගෙවන්න වෙන්නේ රුපියල් 587,000යි."
එමෙන් ම, විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ දායක මුදල මාසිකව, මාස තුනකට වරක් හෝ වාර්ෂිකව වැනි ක්‍රම කිහිපයක් ඔස්සේ ගෙවීමට පහසුකම් සලසා දී ඇති බව ද සභාපතිවරයා පැවසීය.
ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, SLSSB – දිස්ත්රික් කාර්යාලය, SLSSB – ප්‍රධාන කාර්යාලය, SLSSB බලයලත් අනෙකුත් නිලධාරීන් හරහා මෙන් ම සමාජ ආරක්ෂණ මණ්ඩලයේ වෙබ් අඩවියට පිවිස විශ්‍රාම වැටුප් සැලසුමකට ලියාපදිංචි විය හැකි ය.