ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශෂී වීරවංශගේ අභියාචනය ප්‍රතික්‍ෂේපයි: වසර 2ක සිර දඬුවම මහාධිකරණය ස්ථිර කරයි
අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවලට වරදකරු කර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලද වසර දෙකක සිර දඬුවම හා දඩය ඉවත් කොට තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා රණසිංහ මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති හෙවත් ශෂී වීරවංශ ඉදිරිපත් කළ අභියාචන පෙත්සම කොළඹ මහාධිකරණය අද (ජූනි 11) ප්‍රතික්ෂේප කළේ ය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න සඳහන් කළේ, අභියාචක විත්තිකාරියට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දී තිබූ තීන්දුව ස්ථීර කරන බව ය.
2022 වසරේ දුන් තීන්දුව
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු ශෂී වීරවංශට 2022 වසරේ මැයි මස 27 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබිණි.
එම දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකාරියට අමතරව මාස 6ක සිර දඬුවමක් නියම කරන බවත් එම නඩු තීන්දුවේ සඳහන් විය.
එම සිර දඬුවමෙන් සහ දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ශෂී වීරවංශ මහත්මිය විසින් මෙම අභියාචනා පෙත්සම කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
තීන්දුවට පෙර මහාධිකරණ විනිසුරු පැවසුවේ කුමක් ද?
එම අභියාචනය දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මෙසේ පැවසීය.
"විත්තිකාරිය 1967 වසරේ පෙබරවාරි මස 01 වන දා ඉපදුණු බව සඳහන් කරමින් 675320203V දරන අංකය යටතේ ජාතික හැඳුනුම්පතක් ලබාගෙන තිබෙනවා. ඉන්පසුව 1971 වසරේ පෙබරවාරි මස 03 වන දා ඉපදුණු බව සඳහන් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබෙනවා. සාවද්‍ය තොරතුරු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ලබා ගත් විදේශ ගමන් බලපත්‍රයක් "අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් " ලෙස සැලකේ. පුරවැසියා නිවැරදි සහ සත්‍ය තොරතුරු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට වගබලා ගත යුතු යි. 1967 වසරේ පෙබරවාරි මස 01 වන දා උපත ලැබූ මෙම විත්තිකාරිය ඊට වසර හතරකට පසුව ඉපදුණු බව සඳහන් කරමින් ආගමන හා විගමන පාලක වෙතින් ලබාගත් විදේශ ගමන් බලපත්‍රය අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් ලෙස සැලකිය හැකි ය. එසේ අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමට යමෙකුට කිසිදු නීතිමය හිමිකමක් නොමැත. විත්තිකාරිය මෙම අවිධිමත් විදේශ ගමන් බලපත්‍රය උපයෝගී කරගෙන අවස්ථා කිහිපයකදී විදේශ ගත වී තිබෙනවා. ඒ තුළින් එම අවිධිමත් විදේශ ගමන් බලපත්‍රය විත්තිකාරිය සන්තකයේ තිබූ බව පැහැදිලි යි. අදාළ විදේශ ගමන් බලපත්‍රයේ අක්ෂරවල ගැටලුවක් තිබූ බව විත්තිකාරිය සිය විත්තිවාචකය තුළින් සඳහන් කර තිබුණා. එහෙත් එම වරද නිවැරැදි කර ගැනීමට ඇය ක්‍රියා කර නැත. එමෙන් ම, මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු විභාගයේදී මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් වූ සාක්ෂි අධික ලෙස තක්සේරු කරමින් තමන් වරදකරු කළ බව විත්තිකාරිය සිය අභියාචනාවේ සඳහන් කර තිබුණා. නමුත් මහේස්ත්‍රාත්වරයා තමන් හමුවට ඉදිරිපත් කළ සාක්ෂි නිවැරදි ලෙස විශ්ලේෂණය කරමින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා."
එසේ සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා අභියාචක විත්තිකාරිය අදාළ චෝදනාවලට වරදකරු කරමින් 2022 වසරේ මැයි මස 27 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් විත්තිකාරියට එරෙහිව ලබා දුන් තීන්දුව තහවුරු කරන බවටත්, ඒ අනුව විත්තිකාරිය ඉදිරිපත් කළ අභියාචන පෙත්සම නිෂ්ප්‍රභ කරන බවටත් නියෝග කළේ ය.
මෙම නඩු තීන්දුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන ලෙස ද නඩු තීන්දුවේ වැඩිදුරටත් සඳහන් විය.
මෙම නඩු තීන්දුවට එරෙහිව ශෂී වීරවංශ අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.