බලහත්කාරයෙන් අතුරුදන් කරවූවන්ගේ වින්දිතයන් යාපනයේදී පාගමනක: ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලති

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

අගෝස්තු 30 වන දිනට යෙදී තිබූ බලහත්කාරයෙන් අතුරුදන් කරවූවන්ගේ වින්දිතයන් සඳහා වන ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් 'සාධාරණය වෙනුවෙන් පාගමන' නමින් පාගමනක් එදින යාපනය නගරයේදී පැවැත්විණි.

යුද සමයේ අතුරුදන්වූවන්ට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා සිටිමින් අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින්, ආගමික සංවිධාන නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව පාගමන සංවිධානය කර තිබිණි.

එම කාලයේ අතුරුදන්වූවන් සොයා ගැනීමට ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බව පවසමින් හා ලෝකයේ අතුරුදන් කිරීම්වලින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බවට සඳහන් කරමින් කළුපටි පැළඳගෙන, පන්දම් දල්වමින් විරෝධතාකරුවෝ යාපනය නගරයේ වීදි පුරා පාගමනක නිරත වූහ.

අතුරුදන්වූවන් වෙනුවෙන් යුක්තිය ඉටුවිය යුතු බවට ඔවුන් ඉල්ලා සිටි අතර, යුද සමයේ අතුරුදන්වූවන්ගේ ඡායාරූප වෑන් රථයක ප්‍රදර්ශනය කිරීමට සලස්වා තිබිණි.

වීඩියෝව නරඹන්න

එම අවස්ථාවේදී උතුරු නැගෙනහිර අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි එස්. ජෙනීටා මෙලෙස අදහස් දැක්වූවා ය.

"ලංකාවේ තිබුණු යුද්ධය ඉවරවෙලා දැන් අවුරුදු 18 ක කාලයක් ගෙවිලා ගිහිල්ලා තියෙනවා.මේ අවුරුදු 18 පුරාවටම අපි අතුරුදන්වූ අපගේ ඥාතීන් සොයාදෙන ලෙසට විරෝධතා පවත්වමින් ඉන්නවා. දැන් ආණ්ඩු කියක් වෙනස් වෙලා තියෙනවා ද මේ අවුරුදු 18 ඇතුළත.ඒත් ඒ එකම ආණ්ඩුවකින්වත් අපේ අතුරුදහන්වු ඥාතීන් සොයාදෙන්න නිසි වැඩපිළිවෙළක් හදලා දුන්නේ නෑ," ඇය පැවසුවා ය.

කෙසේ වෙතත්, ඇය පැවසුවේ වර්තමාන රජයෙන් ද ඔවුන් බලාපොරොත්තු වූ මට්ටමේ සාධාරණයක් තව ම ඉටුවී නොමැති බව යි.

"මේ ආණ්ඩුව හරහා අපි බලාපොරොත්තු වුණා අපේ ගැටලුවට නිසි විසඳුමක් ලබා දෙයි කියලා. ඒත් මේ ආණ්ඩුව හරහාවත් අපේ ප්‍රශ්නයට ස්ථිර විසදුමක් ලැබෙන පාටක් නෑ. අපි අපේ ඥාතීන්ට සාධාරණය ඉල්ලමින් උතුරු නැගෙනහිර හැම පළාතක ම විරෝධතා තියලා තිබෙනවා. දවස් 3,500කට වැඩි කාලයක් විවිධ උපවාස කරන්න කටයුතු කරලා තිබෙනවා. ඒත් අපේ අතුරුදන්වූවන් වෙනුවෙන් සාධාරණය මේ දක්වා ඉටුවෙලා නෑ."

"අතුරුදන්වූවන්ගේ ඥාතීන් සොයා දෙන්න කියලා ඉල්ලීම් කරලා අපි පවත්වන විරෝධතා වෙනුවෙන් සාධරණය ඉටු කරන්න කියලා අපි ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලීම් කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංවිධානය, ඇමෙරිකාව ආදී රටවල් මැදිහත් වෙලා අපිට සාධාරණයක් ඉටු කරන්න ඕනේ කියලා තමයි අපි අවසන් වශයෙන් ඉල්ලීම් කරන්නේ."

උතුරු නැගෙනහිර අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි එස්. ජෙනීටා චෙම්මනි සමූහ සුසානය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූවා ය.

"දැන් බලන්න චෙම්මනි මිනී වළ තිබෙනවා. එතන කාගේ කාගේ මිනිස් ඇටකටු තියෙනවා ද කියලා තව ම දන්නේ නෑ. අපිට අපේ අතුරුදන්වූවන් වෙනුවෙන් සාධාරණය ඉටු කරලා දුන්නොත් හොඳට ම ඇති."

බලහත්කාරයෙන් අතුරුදන් කරවූවන්ගේ වින්දිතයන් සඳහා වන ජාත්‍යන්තර දිනය යෙදෙන අගෝස්තු 30 වන දා සෑම වසරක ම අතුරුදන්වූවන්ගේ ඥාතීහු පාගමන්වල නිරත වෙමින්, සාධාරණය ඉල්ලා සිටිති.

මෙම පාගමන වෙනුවෙන් උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියහ.