ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනාධිපති ධූරය, නව ව්‍යවස්ථාව පිළිබඳව ජනපති දෙමළ, මුස්ලිම් නියෝජිතයින්ට පැවසුවේ කුමක් ද?
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
පළාත් සභා මැතිවරණය පැවැත්වීම, අලුත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම සහ උතුරු නැගෙනහිර ඉඩම් ගැටලුවලට විසඳුම් සෙවීම මුල් කර ගනිමින් ආරම්භ කරන ලද දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුවේ නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර හමුවක් පසුගිය දා පැවැත්විණි.
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 06ක් එක්ව පිහිටුවා ගත් එකමුතුවේ නියෝජිතයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවති එම හමුව අගෝස්තු 03 වන දා ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම, නව ව්‍යවස්ථාවක් ගෙන ඒම මෙන් ම උතුරු නැගෙනහිර ඉඩම් ගැටලු සහ ඊට ගෙන ඇති පිළියම් සම්බන්ධව සාකච්ඡා කළ බව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානිකම් බීබීසී සිංහල සේවයට පැවසීය.
පළාත් සභා ඡන්දය ගැන සාකච්ඡා වූයේ මොනවා ද?
මෙහිදී පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා වූ කරුණු මොනවා දැයි බීබීසී සිංහල විසින් එම මන්ත්‍රීවරයාගෙන් විමසීමක් කරන ලදී.
"පළාත් සභා ඡන්දය සම්බන්ධව ඒකේ තේරීම් කාරක සභාවේ වාර්තාව එන තෙක් තීන්දුවක් ගන්න බැහැ කියලා කිව්වා. අපි හැමෝම එකතු වෙලා කිව්වේ මේ තේරීම් කාරක සභාව කියන්නේ මැතිවරණ කල් දාන්න උපයෝගී කර ගන්න කාරණයක් කියන එක, ඒක පහුගිය කාලෙත් කරලා තියෙනවා. පක්ෂ හයේ ම නියෝජිතයන්ට කතා කරන්න දුන්නා ම පක්ෂ හයේ ම අය පළාත් සභා ඡන්දය සම්බන්ධ කාරණය මතු කළා," මන්ත්‍රීවරයා පැවසුවේ ය.
එහිදී තේරීම් කාරක සභාවේ වාර්තාව ලබා දීමට නිශ්චිත කාලයක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා වෙත ඔවුන් යෝජනා කළ බව මෙන් ම තේරීම් කාරක සභාව රැස් වනුයේ මසකට වරක් පමණක් බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.
"තේරීම් කාරක සභා රැස්වීම ගිය මාසේ 20 වෙනිදා තිබුණයින් පස්සේ ආයේ තියෙන්නේ අට වෙනි මාසේ 20. තේරීම් කාරක සභාව මාසයකට සැරයක් නම් හම්බ වෙන්නේ, හම්බ වෙලා සාකච්ඡා කරලා කරුණු විසඳගෙන යනවා කියන්නේ අවුරුදු තව දෙක තුනක් යනවා ඉවර වෙන්න. අපි ජනාධිපතිතුමාට කිව්වේ තේරීම් කාරක සභාවට දෙන්න ඩෙඩ්ලයින් එකක් මේ කාලය ඇතුළත වාර්තාව දෙන්න ඕනේ කියලා."
'බහුතර බලයෙන් පමණක් ගේන ව්‍යවස්ථාවක් වෙන්න හොඳ නෑ'
එමෙන් ම, වත්මන් රජයේ දේශපාලන පොරොන්දුවක් ද වූ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්බන්ධව ද මෙම හමුවේදී අවධානය යොමු කර තිබිණි.
නව ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ධූරය අහෝසි කරනු ලැබුවහොත් විධායක අගමැති ධූරයක් ඇති විය හැකි දැයි යන සැකය එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගෙන් මතු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් බීබීසී සිංහල සේවයට කියා සිටියේ ය.
"විධායක ජනාධිපති ධූරය අහෝසි කළාට පස්සේ ජනාධිපතිතුමා කිව්වේ පාර්ලිමේන්තුවේ නියෝජිතයන්නේ වැඩිපුර රටේ ප්‍රශ්න මතු කරන්නේ. ඉතින් රටේ නායකයා පාර්ලිමේන්තුවේ ඉන්න එක වැදගත් කියන එක, රාජ්‍ය නායකයා පාර්ලිමේන්තුවෙන් පිට ඉඳලා වැඩක් නෑනේ."
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම රජයේ ස්ථාවරය බවත්, ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් උනන්දුවෙන් සිටින බවත් ජනාධිපති හමුවූ දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ නියෝජිතයන්ට ප්‍රකාශ කළ බව ද මන්ත්‍රීවරයා පැවසීය.
"අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම තුළින් සමාජීය ගිවිසුමක් ඇති වෙන්න ඕනේ. ඒක සියලු ජන කොටස් පිළිගන්න එකක් වෙන්න ඕනේ. බහුතර බලයෙන් පමණක් ගේන ව්‍යවස්ථාවක් වෙන්න හොඳ නෑ කියන එක අපි කිව්වා," යැයි මන්ත්‍රීවරයා කියා සිටියේ ය.
උතුරු නැගෙනහිර ඉඩම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම සාකච්ඡාවේ දී දේශපාලන පක්ෂ නියෝජිතයන් දැනුවත් කර තිබේ.
'ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව කටයුතු කරන නව ජනතා සම්මුතියක් අවශ්‍ය යි'
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ පිරිසක් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව කටයුතු කරන නව ජනතා සම්මුතියක් අවශ්‍ය බව ජනාධිපතිවරයා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබේ.
එම නියෝජිතයින් පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු, උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන් ම මලෛයහ ප්‍රජාව මුහුණ දී ඇති ඉඩම් ගැටලු පිළිබඳව කරුණු ඉදිරිපත් කරන බව නිවේදනයේ සඳහන් වේ.
පළාත් සභා මැතිවරණය පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක්වූ අතර එම මැතිවරණය පැවැත්වීම සම්බන්ධව තේරීම් කාරක සභාවක් පත් කර තිබෙන බවත්, මතුව ඇති ගැටලු පිළිබඳ ඔවුන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
පාර්ලිමේන්තුවට වග කියන පාලන ක්‍රමයක්
"වත්මන් රජයේ මැතිවරණ ප්‍රකාශනයේ ඇතුළත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනාව කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මහ ලේකම් එම්.ඒ. සුමන්තිරන් මහතා පෙන්වා දුන්නේ, එම කාර්යය හදිසියේ කළ හැක්කක් නොවන බවත්, විවිධ ජන කොටස් අතර තිබෙන ගැටලු විසඳාගත හැකි සමාජ විමසුමක් ලෙස ඒ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් බවත් ය. එය 1972 සහ 1978 හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් මෙන් එක් පාර්ශ්වයක් විසින් හඳුන්වා දෙනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොවිය යුතු බව ද ඒ මහතා සඳහන් කළේ ය," යනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු අතර ම, විධායක ජනාධිපති ක්‍රමය ද අහෝසි කළ යුතු බව රජයේ ස්ථාවරය බවත් මෙම අවස්ථාවේ කඩිමුඩියේ ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයකට වඩා අවශ්‍ය වන්නේ නව ජනතා සම්මුතියක් ඇති කර ගැනීම බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් වූ කතිකාවක් ආරම්භ කිරීමේ වැදගත්කම ද මෙහිදී සඳහන් කර තිබේ.
විවිධ ජන ප්‍රජාවන් වෙන් වෙන්ව තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරනවා වෙනුවට ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව කටයුතු කරන රටක් ගොඩනැගීමේ පදනම වත්මන් රජය යටතේ මේ වන විට ස්ථාපනය වී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා පසුගිය කාල සීමාව තුළ කිසිදු ජාතිවාදී ගැටුමක් රට තුළ ඇති නොවූ බව පෙන්වා දුන් බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මධ්‍යම කඳුකරය වෙනුවෙන් වෙන ම අධිකාරියක්
මලෛයහ ප්‍රජාවේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා, වතු කම්කරුවන්ට සහ වතු කාර්ය මණ්ඩලයට පදිංචිය වෙනුවෙන් පර්චස් 10ක ඉඩම් කැබැල්ලක නීත්‍යනුකූල අයිතිය ලබා දීමේ රජයේ යෝජනාව පිළිබඳව මෙහිදී අදහස් දක්වා ඇති දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ වී. රාධක්‍රිෂ්ණන්, සමාගම්වල විරෝධතාව නිසා තම ආණ්ඩුවලින් ඉටු කර ගත නොහැකි වූ එම කාර්යය වත්මන් ආණ්ඩුව යටතේ ඉටු වනු ඇතැයි අපේක්ෂා කරන බව මෙහිදී ප්‍රකාශ කර තිබේ.
මධ්‍ය කඳුකරයේ කිසිදු ජනාවාසයක් නොමැති ප්‍රදේශවල පවා පුපුරායම් වාර්තා වී තිබෙන බවත්, ඒ අනුව එම ගැටලුවට විසඳුම් සෙවිය යුත්තේ, මධ්‍ය කඳුකරයේ තිරසර පැවැත්ම සහතික කරමින් බවත්, ඒ වෙනුවෙන් මේ වන විටත් වෙන ම අධිකාරියක් පිහිටුවා ඇති බවත් ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී පැවසූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
පාර්ලිමේන්තුවට වග කියන පාලන ක්‍රමයක් සිය අපේක්ෂාව බවත්, ජනාධිපති අනුර කුමාර දිසානායක දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ නියෝජිත පිරිස හමුවේ පවසා ඇත.
'ජනතාවගේ ඉඩම් ජනතාවට ම හිමි විය යුතු ය'
උතුරේ සහ මධ්‍යම කඳුකරයේ ඉඩම් ගැටලු විසඳීමට කටයුතු කරන බව මෙහිදී සඳහන් කර ඇති ජනාධිපති අනුර කුමාර දිසානායක, ජනතාවගේ ඉඩම් ජනතාවට ම හිමි විය යුතු ය යන්න රජයේ ස්ථාවරය බවත්, කොමිෂන් සභා පත් කිරීම ඇතුළු ඒ වෙනුවෙන් වූ සාධනීය පියවර රැසක් මේ වන විට ගෙන ඇති බවත් නිවේදනයේ සඳහන් කර තිබේ.
පළාත් සභා ඡන්ද ක්‍රමය සහ සීමා නිර්ණය කොමිසමේ කටයුතු පිළිබඳව ද මෙහිදී මන්ත්‍රීවරුන් අදහස් දක්වා ඇති අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය ආදී ආයතන පැරණි ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වීම නිසා උතුරේ සහ නැගෙනහිර ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳව ද ජනාධිපතිවරයා දැනුවත් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.