'විනය විරෝධී ක්‍රියාවල නිරත වන භික්ෂූන්ට රාජ්‍ය බලය යොදවා දඬුවම් දෙන ක්‍රමයක් ඇති කළ යුතුයි' - පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
තුරු යටියෙන් හුණු පැටි ලෙහෙනුන් රැගෙන
සිතු අටියෙන් පිඹ ඇඟ පිරිමැද සෙමෙන
මල ගෙටියෙන් පැන් පොවමින් අතින'තින
සිටි පැටියෙන් හෙරණුන්ගෙන් වෙයි සොබන
සාමණේර හිමිවරු ගසින් ගසට යද්දී වැලි මළුවට ඇද වැටුණු ලේන් පැටවුන් රැගෙන, සිතේ ඇති කරුණාවෙන් කටින් පිඹ මෘදුව ඇඟ පිරිමදිති. ඉන්පසු ලේන් පැටවුන් වතුර පොවා රැකබලා ගනිති. එම සාමණේර හිමිවරුන්ගේ දසුන සුන්දර ලෙස කවියා වර්ණනා කර තිබේ.
ඉහත කවියෙන් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වර්ණනා කරන්නේ, කෝට්ටේ යුගයේ විහාරස්ථානයක සාමණේර හිමිවරුන් අත්විඳි නිදහස, සාමණේර හිමිවරුන්ගේ කෙළිලොල්බව සහ ඔවුන්ගේ කාරුණික ගුණාංග ය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ මේ වන විට ආගමික ස්ථාන ආශ්‍රිතව අසන්නට, දකින්නට ලැබුණු ඇතැම් සිද්ධි අතිශය අසුන්දර වී තිබේ.
එම සිදුවීම් අතර බරපතළ ම සිදුවීම වූයේ, හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන භික්ෂුවට එල්ල වී ඇති චෝදනාව ය.
15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කළ බවට එම භික්ෂුවට චෝදනා එල්ල වී තිබේ.
මේ අතර, දිනකට පෙර පැවිදි වූ බාලවයස්කාර සාමණේර හිමිනමකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු හම්බේගමුවේ චන්දානන්ද නමැති හිමිනමකට අනුරාධපුර මහාධිකරණයෙන් පනවන ලද බරපතළ වැඩ සහිත වසර 7ක සිර දඬුවම හා දඩ මුදල් නීත්‍යනුකූල බවට අභියාචනාධිකරණය මීට සති දෙකකට පෙර තීන්දු කළේ ය.
ඊට අමතරව, පැවිදිවීම සඳහා විහාරස්ථානයට පැමිණි 14 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවෙකු එදින රාත්‍රියේ ම බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ 65 හැවිරිදි භික්ෂුවකට වසර 30ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් පසුගිය සතියේ නියම කෙරිණි.
මේ අතර, තායිලන්ත සංචාරයක් නිම කර මෙරටට පැමිණි ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලා 22 දෙදෙනෙකු අප්‍රේල් මස අගදී කිලෝ ග්‍රෑම් 110කට අධික "කුෂ්" සහ "හෑෂ් " මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනිණි.
ආගමික ස්ථාන ආශ්‍රිතව වාර්තා වූ ළමා අපයෝජන සිද්ධි
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මේ අතර, 2018 වසරේ සිට 2022 වසර දක්වා ශ්‍රී ලංකාවේ ආගමික ස්ථාන තුළ සිදුවූ ළමා අපයෝජන සිද්ධි සම්බන්ධයෙන් හිටපු ජනාධිපති අපේක්ෂකයෙකු වන නීතිඥ නුවන් බෝපගේ මාධ්‍ය හමුවකදී අනාවරණය කළේ ය.
ඔහු පැවසූ පරිදි, එම කාලය තුළ බෞද්ධ විහාරස්ථාන ආශ්‍රිතව ළමා අපයෝජන සිද්ධි 488ක් වාර්තා වී ඇති අතර, කතෝලික දේවස්ථාන ආශ්‍රිතව සිද්ධි 13ක්, මුස්ලිම් පල්ලි ආශ්‍රිතව සිද්ධි 4ක් සහ හින්දු ආගමික ස්ථාන ආශ්‍රිතව එක් සිද්ධියක් වාර්තා වී තිබේ.
ඔහු පෙන්වා දුන්නේ, වාර්තා වී ඇති සිද්ධි ගණන එය වුව ද, වාර්තා නොවූ සිද්ධි විශාල සංඛ්‍යාවක් ඇති බව ය. ඔහු සඳහන් කළේ, "අයිස් බර්ග් එකක්" මෙන් පෙනෙන සංඛ්‍යාවට වඩා නොපෙනෙන සංඛ්‍යාව අතිවිශාල බව ය.
මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් ආගමික සංස්ථාවේ සෙසු භික්ෂූන් වහන්සේලාගේ "නිහැඬියාව" සම්බන්ධයෙන් ද නුවන් බෝපගේ අදහස් දැක්වීය.
"මේ ආගමික සංස්ථාවල ඉන්න අනික් හාමුදුරුවරුන්ගේ තියෙන නිහැඬියාව. ඒක මල්වත්ත වෙන්න පුළුවන්, අනිත් තැනක වෙන්න පුළුවන්. ඒ නිහැඬියාව පෙන්වන කාරණය මොකක් ද? ඒ පෙන්වන කාරණය තමයි, මේ අයිස් බර්ග් එකේ බරපතළකම."
පල්ලේගම හේමරතන භික්ෂුවට එල්ල වූ චෝදනාවෙන් පසු මල්වතු මහා විහාර පාර්ශවයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් සහ අටමස්ථානාධිපති පදවියෙන් තාවකාලිකව ඉවත් කිරීමට මල්වතු මහා විහාර පාර්ශවය පියවර ගත්තේ ය.
කෙසේ වෙතත්, ආගමික ස්ථානවලින් ඇසෙන මෙම පුවත් සම්බන්ධයෙන් සමාජය බෙහෙවින් කැලඹීමට පත්ව තිබේ.
එම තත්ත්වය මධ්‍යයේ සංඝ සභාවකට බලතල පැවරීම, ධර්ම සංගායනා පැවැත්වීම සහ නීති පැනවීම ආදිය සම්බන්ධයෙන් විවිධ යෝජනා පළවෙමින් තිබේ.
ධර්ම සංගායනාවක අවශ්‍යතාව අවධාරණය කරයි
'බරපතළ අභියෝග රාශියකට මුහුණ පා ඇති බුදු සසුන' රැක ගැනීම සඳහා ධර්ම සංගායනාවක් සිදු කරන ලෙස ඉල්ලමින් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් වෙත ලිපියක් යොමු කර තිබිණි.
'මේ මොහොතේ බුදු සසුන සම්බන්ධයෙන් පැන නැගී ඇති භයානක අර්බුදය වෙනුවෙන් සාධනීයව මැදිහත් වීම අප සැමගේ ශුද්ධ වූ යුග කාර්යභාරයක් බව අවධාරණය කරන අතර, ඒ වෙනුවෙන් ධර්ම සංගායනාවක් හරහා බුදු සසුනේ චිරස්ථිතිය සහතික කිරීමට ඔබ වහන්සේලාගේ නායකත්වය සහ මූලිකත්වය ලබා දෙන ලෙස නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි,' යනුවෙන් ඇය සඳහන් කර තිබේ.
මේ අතර, බෞද්ධ විහාර ආශ්‍රිතව සිදුවන අර්බුද නිරාකරණය කර ගැනීම සඳහා සංඝ අධිකරණයක් පිහිටුවිය යුතු බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මාධ්‍ය හමුවකදී පැවසූහ.
'සංඝාධිකරණයකින් ඔබ්බට ගිය දඬුවම් දිය හැකි අධිකරණ බලයක්'
බෞද්ධ විහාරස්ථාන ආශ්‍රිතව සිදුවන අනීතික ක්‍රියා සම්බන්ධයෙන් දැඩි හඬක් නගන ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, විනය විරෝධී ක්‍රියාවල නිරත වන භික්ෂූන්ට "රාජ්‍ය බලය යොදවා දඬුවම් දෙන ක්‍රමයක් ඇති කළ යුතු" බව ය.
"මේ සම්බන්ධයෙන් මහ නායක ස්වාමීන් වහන්සේලා සාකච්ඡා කරල තියෙනවා. වහා ම ඒකට ක්‍රියාමාර්ග ගන්න ඕනෙ. ඒ කියන්නෙ විනය විරෝධී විදිහට හැසිරෙන භික්ෂූන්ට දඬුවම් ලබා දෙන්න ඕනෙ. දඬුවම් ක්‍රියාත්මක කරන්න ඕනෙ. ඒ දඬුවම් ක්‍රියාත්මක කිරීම සඳහා සංඝයා වහන්සේලාගේ අධිකරණ සභාවලට රාජ්‍ය බලයක් යොදවන්න ඕනෙ. රාජ්‍ය බලයක් යොදල දඬුවම් දෙන ක්‍රමයක් ඇති කරන්න ඕනෙ. දඬුවම් දෙන අයව සමහර විට සිවුරෙන් ඉවත් කිරීමක් කරන්න ඕනෙ. සිවුරෙන් ඉවත් කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන සකස් කරන්න ඕනෙ," යනුවෙන් ද උන්වහන්සේ පෙන්වා දුන්නේ ය.
'සංඝ සභාව විනයධරව පවත්වාගෙන යන්න ඉක්මනින් ම අවස්ථාව දෙනවා' - ජනපති
මේ අතර, ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ සහ ඕමල්පේ සෝභිත හිමියන්ගේ ඉල්ලීම මත විහාර හා දේවාලගම් පනතේ 41 සහ 42 වන වගන්ති සංශෝධනය කර ධර්ම අධිකරණය ස්ථාපනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, වෙසක් සතියෙහි සමාරම්භය සිදු කරමින් තිහගොඩ, මිදෙල්ලවල පුරාණ රජමහා විහාරස්ථානයේදී මැයි 27 වන දා පැවති රාජ්‍ය වෙසක් මහෝත්සවයට එක්වෙමිනි.
"මගෙන් ඉල්ලුවෙ මොකක් ද? 1931 විහාර දේවාලගම් පනත එහි 41 සහ 42 වගන්ති සංශෝධනය කරන්න කියලා. නැවත ධර්ම අධිකරණය සඳහා තමන්ගේ හාමුදුරුවන් වහන්සේලාගේ විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා තිබෙන බලය ලබා දෙන්න කියලා."
"අපේ කැබිනට් එක ඒ 41, 42 වගන්ති සංශෝධනය කිරීම සඳහා අපේ ඇමතිතුමා සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලය ඒකට එකඟතාව පළ කළා. ඒ අනුව සංශෝධන සකස් කළා. සාමාන්‍යයෙන් ඕනෑ ම පනතකට, ව්‍යවස්ථාවකට ගෙන එන සංශෝධනයක් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අනුමැතියට ලක්විය යුතු යි... නීතිපති දෙපාර්තමේන්තුව යම් යම් සංශෝධන කිහිපයක් ඉදිරිපත් කරල තිබුණා."
මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ ත්‍රෛනිකායික පාර්ශවවල ලේඛකාධිකාරී හිමිවරුන් අතර පැවති සාකච්ඡා සාර්ථකව අවසන් වී ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.
"දැන් ඒක අවසන් අදියරේ තියෙනවා. අපි ඉතා ඉක්මනින් ම ඔබ වහන්සේලාට සංඝ සංස්ථාවට විශේෂයෙන් ම විනයධරව පවත්වාගෙන යාම සඳහා අවස්ථාව දෙන්නම්."
'ආණ්ඩුව අවංක නම් මේ නඩුව අහල ඉක්මනට ඉවර කරන්න'
මේ අතර, නීතිඥ නුවන් බෝපගේ සඳහන් කළේ, ආණ්ඩුව ප්‍රතිපත්ති ප්රකාශනය අනුව ක්‍රියා කරමින් ළමුන් සම්බන්ධයෙන් වන අපයෝජන විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණයක් ස්ථාපනය කළ යුතු බව ය.
"තමුන්ගෙ ප්‍රතිපත්ති ප්රකාශනයේ කියනවා, කාන්තාවන් සහ ළමුන් සම්බන්ධයෙන් වන අපයෝජන සම්බන්ධයෙන් විශේෂ මහාධිකරණ හදනව කියලා. මේ ආණ්ඩුව අවංක නම් මේ ආණ්ඩුව අර හාමුදුරුවන්ට පක්ෂපාතී නැත්නම් ඔන්න අවස්ථාවක් තියෙනවා, විශේෂ මහාධිකරණයක් හදල අනුරාධපුරේ, මේ නඩුව අහල ඉක්මනට ඉවර කරන්න."
ඛාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බවට චෝදනා එල්ල වූ හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය මැයි 22 වන දා නියෝග කළේ ය.
ඔහු මුදා හැරීමට නියෝග කරනු ලැබුවේ, රුපියල් ලක්ෂ 50 ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත ය.
ඇප කොන්දේසි කඩ කළහොත් සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් ඇප නියෝගය අවලංගු කරන බව ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ ය.
හේමරතන හිමියන්ට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.


































