ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඔබ අකල් මරණයකට ලක්වීමේ අවදානම අඩු කර ගැනීමට සරල ක්‍රියාකාරකමක්
- Author, ඩොමිනික් හ්‍යුස් - සෞඛ්‍ය වාර්තාකරු, ලෙස්ලි හිචන් - සෞඛ්‍ය පුවත් නිෂ්පාදක, ජේම්ස් ගවන් - සෞඛ්‍ය පුවත් නිෂ්පාදක
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
නවතම පර්යේෂණයකට අනුව සතියකට විනාඩි 90ක් හෝ පැය දෙකක කාලයක් බර ඉසිලීමේ ව්‍යායාමවල නිරත වීමෙන් අකල් මරණවලට ලක්වීමේ අවදානම විශාල වශයෙන් අඩු කරගත හැකි බව අනාවරණය කර තිබේ.
දශක කිහිපයක් තිස්සේ සිදු කරන ලද අධ්‍යයනවලින් ලබා ගත් දත්ත මගින් යෝජනා කර ඇත්තේ, දීර්ඝ කාලයක් තිස්සේ නිතිපතා ශක්ති වර්ධක ව්‍යායාම හෝ බර ඉසිලීමේ ව්‍යායාමවල නිරත වීමෙන් හෘද රෝග සහ ආඝාතය නිසා සිදුවන මරණ වැළැක්වීමේ සැලකිය යුතු ප්‍රවණතාවක් පවතින බව ය.
ස්නායු ආශ්රිත රෝග නිසා සිදුවන මරණ අවදානම අඩු කිරීමට ද මෙම ව්‍යායාම හේතු වන බව සොයාගෙන ඇත.
සිරුරේ ශක්තිය වර්ධනය කරන මෙවැනි ව්‍යායාම මගින් සෞඛ්‍ය තත්ත්වය පිරිහීම වළක්වා ගැනීමට හෝ ප්‍රමාද කිරීමට හැකියාව ලැබෙන බව සහ මේ හරහා දැනට සෞඛ්‍ය සේවයට එල්ල වී ඇති පීඩනය ලිහිල් කර ගැනීමට ද දායකත්වයක් ලැබෙන බවට මෙය සාක්ෂියක් බව විශේෂඥයෝ පවසති.
කේට් හොගාර්ත් මේ වන විට 28 හැවිරිදි වියේ පසුවන අතර ඇය දැනටමත් සිතමින් සිටින්නේ ජීවිතයේ සැඳෑ සමයේදී නිරෝගීව ජීවත් වන්නේ කෙසේ ද? යන්න පිළිබඳව ය. බර ඉසිලීමේ ව්‍යායාමවල නිරත වීමෙන් මේ වන විට ඇය ලබන ආත්ම විශ්වාසය මෙන් ම, ඉන් ලැබෙන දිගුකාලීන සෞඛ්‍ය ප්රතිලාභ ද ඇය වටහාගෙන සිටියි.
"මට ඕනේ වයසට ගියා ම නිදහසේ ජීවත් වෙන්න.
"ශක්ති වර්ධක ව්‍යායාම මගින් ඔබේ හෘද සෞඛ්‍යය, මාංශ පේශි, අස්ථි වගේ ම මානසික සෞඛ්‍යයට ලැබෙන ප්රතිලාභ කොච්චර ද කියලා පෙන්වන අධ්‍යයන ඕනෑ තරම් තියෙනවා.
"මට ඕනේ අවුරුදු 70, 80 හෝ 90ක් සම්පූර්ණ වුණත් ලෝකය වටේ සංචාරය කරන්න. මට ඕනේ මගේ දරු මුණුපුරන් අත් දෙකෙන් වඩාගෙන සෙල්ලම් කරන්න. ඒ වගේ නිදහසක් ජීවිතයක් තියෙන එක මට ගොඩක් වැදගත්."
දිවීම, පාපැදි ධාවනය හෝ පිහිනීම වැනි ඇරෝබික් ව්‍යායාම මගින් ලැබෙන ප්රතිලාභ බොහෝ දෙනෙක් හොඳින් දැනුවත්ව සිටිති.
බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය පවසන්නේ, නිතිපතා ඇරෝබික් ව්‍යායාමවල නිරත වීමෙන් මානසික ආතතිය අඩු වී ආත්ම අභිමානය වර්ධනය වන අතර ම, හෘද රෝග, ආඝාතය සහ දෙවන වර්ගයේ දියවැඩියාවට ගොදුරු වීමේ අවදානම ද අඩු කරගත හැකි බව ය.
නමුත් ශක්ති වර්ධක ව්‍යායාම මගින් මරණ අවදානම අඩු කර ගැනීමට ලැබෙන දායකත්වය කෙසේ ද? යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් නොතිබිණි.
එම තත්ත්වය වෙනස්වීම ආරම්භ වී ඇත.
ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ බ්‍රිතාන්‍ය සඟරාව වෙත ලිපියක් පළ කරමින් පර්යේෂකයින් පවසන්නේ, වසර 30ක කාලයක් පුරාවට පිරිමි සහ කාන්තාවන් 147,374 දෙනෙකු යොදාගෙන සිදු කරන ලද අධ්‍යයන තුනක දත්ත ඔවුන් විශ්ලේෂණය කළ බව ය.
එහිදී ඔවුන් සොයාගෙන ඇත්තේ, සතියකට විනාඩි 90ක් සහ පැය දෙකක් අතර කාලයක් අඛණ්ඩව බර ඉසිලීමේ ව්‍යායාමවල නිරත වූ පිරිස ඕනෑ ම හේතුවක් නිසා සිදුවන අකල් මරණවලට ලක්වීමේ අවදානම 13%කින් අඩු කරගෙන ඇති බව ය.
හෘදවාහිනී ආශ්රිත රෝග, උදාහරණ ලෙස හෘදයාබාධ හෝ ආඝාතය වැනි රෝග නිසා මියයාමේ අවදානම ද 19%කින් පහළ ගොස් තිබිණි.
ඩිමෙන්ෂියා වැනි ස්නායු ආශ්රිත රෝග නිසා සිදුවන මරණවලදී මෙම අවදානම 27%කින් පමණ පහළ ගොස් තිබේ.
පර්යේෂකයන්ගේ නිගමනය වූයේ, ඇරෝබික් ව්‍යායාම සහ බර ඉසිලීමේ ව්‍යායාම යන දෙක ම ඉහළ මට්ටමකින් එක හා සමානව සිදු කළ පුද්ගලයන් අතර සෞඛ්‍ය අවදානම අවම මට්ටමක පැවති බව ය.
සෑම සතියක ම පැය ගණනාවක් පුරා ඇරෝබික් ව්‍යායාමවල නිරත වෙමින්, වඩාත් ම ක්‍රියාශීලීව පසු වූ මෙම පිරිස අතර ඕනෑ ම හේතුවක් නිසා සිදුවන අකාල මරණ අවදානම 58%ක් තරම් ඉහළ අගයකින් අඩු වී තිබිණි.
පැය දෙකකට වැඩියෙන් ව්‍යායාම කළොත්?
කෙසේ වෙතත්, සතියකට පැය දෙකකට වඩා වැඩි කාලයක් බර ඉසිලීමේ ව්‍යායාමවල නිරත වීමෙන් සිරුරට අමතර සෞඛ්‍ය ප්‍රතිලාභයක් අත් නොවන බව ද පර්යේෂකයෝ මෙහිදී අනාවරණය කරගෙන ඇත.
උතුරු යෝක්ෂයර්හි හැරෝග්රේට් ප්‍රදේශයේ පෞද්ගලික ශාරීරික උපදේශකයෙකු ලෙස සේවය කරන බෙව් විල්සන්, බර ඉසිලීමේ ව්‍යායාමවල නිරත වීමෙන් හිමිවන වාසි මොනවා ද යන්න පිළිබඳව සිය රැකියාව තුළින්ම අත්දැකීම් ලබයි.
"මගේ සේවාදායකයින්ට, විශේෂයෙන් ම කාන්තාවන්ට මම පුහුණුවීම් ලබා දෙනකොට මට එක දෙයක් පෙනෙන්න තියෙනවා. ඔවුන් මුලින් ම මා ළඟට එන්නේ සන්ධි වේදනා, ශරීරයේ ශක්තිය අඩුවීම එසේත් නොමැති නම් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය අඩාළ වෙලා බර වැඩිවීමේ ගැටලුවලින් පීඩා විඳිමින් සිටින විටදී යි.
"නමුත් ශක්තිය වර්ධන ව්‍යායාම මගින් ඔවුන්ගේ රුධිරයේ සීනි මට්ටම පාලනය කර ගන්න වගේ ම සන්ධි වේදනා සමනය කරගෙන අස්ථි ශක්තිමත් කර ගන්න විශාල උපකාරයක් ලැබෙනවා."
''ඔවුන් වඩාත් ශක්තිමත්, ක්‍රියාශීලී වගේ ම ප්‍රබෝධවත් බවක් අත්විඳිනවා."
එමෙන් ම, මෙම ව්‍යායාම මිනිසාගේ මොළයේ සෞඛ්‍යය වර්ධනය කිරීමට ද හේතු වන බව ඇය සොයාගෙන ඇත. "වඩාත් ක්‍රියාශීලී සහ නිරෝගී බවක් දැනීමට අමතරව, ඔවුන්ගේ සිතීමේ සහ තේරුම් ගැනීමේ හැකියාවේ පැහැදිලි වර්ධනයක් දකින්න ලැබෙනවා."
"ඔවුන්ට රැකියාව කරන විට වඩාත් හොඳින් ඒ පිළිබඳ අවධානය යොමු කරන්න පුළුවන් වගේ ම මතකය වර්ධනය වෙනවා."
Sport England ආයතනයේ සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ උපායමාර්ගික ප්‍රධානී ටොම් බර්ටන් ප්‍රකාශ කළේ, වඩාත් නිරෝගී, ධනවත් සහ සතුටින් පිරි සමාජයක් බිහි කිරීමේ රහස ශාරීරික ක්‍රියාශීලීභාවය බවයි.
"ශක්තිය වර්ධනය කරන ශාරීරික ක්‍රියාකාරකම් කියන්නේ වයස්ගත වීමේදී නිරෝගීව සිටීමට ලැබෙන ප්‍රබල මෙවලමක්. ඒක සෞඛ්‍ය තත්ත්වය පිරිහීම වළක්වනවා හෝ ප්‍රමාද කරනවා. අපව කාගෙන්වත් යැපෙන්නේ නැති, පහසුවෙන් ඇවිදලා ඉන්න පුළුවන් ස්වාධීන පුද්ගලයන් බවට පත් කරනවා. එමගින් දැඩි පීඩනයකට ලක්ව ඇති සෞඛ්‍ය හා රැකවරණ සේවාවන්හි බර සැහැල්ලු කිරීමටත් විශාල පිටිවහලක් ලැබෙනවා."