ට්‍රම්ප්ගේ සාම මණ්ඩලය සමග ඇති කර ගත් ගිවිසුමකින් පසු හමාස් සංවිධානය ආයුධ අත්හැරීමට එකඟ වෙයි

A masked, armed militant from the al-Qassam Brigades, the military arm of Hamas, looks into the camera. Behind him is a blurred background with a few fighters and damaged buidlings

ඡායාරූප මූලාශ්‍රය, Bloomberg via Getty Images

    • Author, හෙලන් සුලිවන්
    • Role, බීබීසී පුවත්
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 7

ගාසාහි හමාස් සංවිධානය ඇතුළු සන්නද්ධ කණ්ඩායම් "සම්පූර්ණයෙන් නිරායුධ කිරීම" සඳහා සාම මණ්ඩලය එකඟතාවකට පැමිණ ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බීබීසීය වෙත පැවසුවේ, ගාසාහිදී සම්පූර්ණයෙන් නිරායුධ වීම සම්බන්ධයෙන් සාම මණ්ඩලය ඉදිරිපත් කළ සැලැස්මට එම සංවිධානය එකඟ වී ඇති බවත් ඒ පිළිබඳ නිල ප්‍රකාශයක් ඉදිරියේදී නිකුත් කරන බවත් ය. මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

ට්‍රම්ප් විසින් පිහිටුවා ඔහුගේ ම නායකත්වයෙන් ක්‍රියාත්මක වන එම මණ්ඩලය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම එකඟතාව මාස ගණනක් පුරා පැවති "ඉතා දුෂ්කර සහ අවංක චේතනාවෙන් සිදු කළ සාකච්ඡාවල" ප්‍රතිඵලයක් බවත්, මේ වන විට එහි අවධානය යොමු වී ඇත්තේ එය ක්‍රියාත්මක කිරීම කෙරෙහි බවත් ය.

එය ඇමෙරිකාව මැදිහත් වී සකස් කළ ගාසා සටන් විරාම සැලැස්මේ දෙවන අදියරේ කොටසකි. එම අදියරට හමාස් සංවිධානය නිරායුධ කිරීම, ඊශ්‍රායල හමුදා ඉවත් කර ගැනීම සහ ගාසා යළි ගොඩනැගීම ඇතුළත් වේ.

ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ, "නිරායුධ කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වන විට" ඊශ්‍රායලය ගාසාවෙන් ඉවත් වනු ඇති අතර මෙම එකඟතාව ගාසා තීරය අවසානයේ නව පලස්තීන රජයක් විසින් පාලනය කරනු ලැබීම සඳහා වන "වැදගත් පියවරක්" බව ය.

"ජාත්‍යන්තර ස්ථායීකරණ බළකාය නව පලස්තීන පොලිස් බළකායක් සමග එක්ව කටයුතු කරමින්, ගාසා තීරය එහි ජනතාවට සහ එහි අසල්වැසියන්ට ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමේ වගකීම භාර ගනු ඇත," යනුවෙන් ඔහු Truth Socialහි පළ කළ සටහනක සඳහන් කළේ ය.

ට්‍රම්ප් පැවසුවේ, මෙම එකඟතාව "ට්‍රම්ප්ගේ කරුණු 20ක සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී වැදගත් සන්ධිස්ථානයක්" සනිටුහන් කරන බව ය. එමෙන් ම, මැදිහත්කරුවන් ලෙස කටයුතු කළ ඊජිප්තුව, කටාර් රාජ්‍යය සහ තුර්කියට ඔහු ස්තූතිය පළ කළේ ය.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කළ එම සැලැස්මට, එකඟතාව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා සාම මණ්ඩලයක් පිහිටුවීම සහ "ගාසා තීරය යළි සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් කළමනාකරණය කිරීම" ඇතුළත් විය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඇමෙරිකාව හැරුණු විට, එම මණ්ඩලයේ ආරම්භක සාමාජික රටවල් අතර පකිස්ථානය, සෞදි අරාබිය, තුර්කිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළත් වේ.

එම කණ්ඩායම පිහිටුවීමෙන් පසු එයට එක්වීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් නොගෙන සිටින රටවල් කිහිපයක් අතර එක්සත් රාජධානිය, ප්‍රංශය සහ චීනය ඇතුළු රටවල් වේ. ඇතැම් රටවල් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ භූමිකාව පිළිබඳ ගැටලු මතු කර තිබේ.

ට්‍රම්ප්ගේ ගාසා සාම සැලැස්මේ කොටසක් ලෙස ආරම්භ කළ ද, එම මණ්ඩලය පසුව සිය කාර්යභාරය පුළුල් කර ඇති බව විශ්වාස කෙරේ. එහි වෙබ් අඩවියේ එම සංවිධානය වඩාත් පුළුල් ලෙස "ජාත්‍යන්තර සාම ගොඩනැගීමේ ආයතනයක්" ලෙස හඳුන්වා ඇත.

හමාස් සංවිධානය නිරායුධ වූ පසු ගාසා තීරයෙන් ඉවත් වීමට ඊශ්‍රායලය එකඟ වනු ඇතැයි ඇමෙරිකාව කොතරම් බලාපොරොත්තු තබාගෙන සිටින්නේදැයි මාධ්‍යවේදීන් සමග පැවති දුරකථන සාකච්ඡාවකදී විමසූ අවස්ථාවේ, ඇමෙරිකානු නිලධාරියෙකු පැවසුවේ, "අපි ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටින්නේ ඔවුන් මුලින් එකඟ වූ කරුණු 20ක සැලැස්මට එකඟව කටයුතු කිරීම හැර වෙනත් කිසිවක් නොවේ. ඒ නිසා ඔවුන් එය අනුගමනය කරාවි කියලා අපට දැඩි විශ්වාසයක් තිබෙනවා," යනුවෙනි.

ඊශ්‍රායලය ඉවත් වීමට තීරණය නොකළහොත්, ට්‍රම්ප් "ඉතා කලකිරීමට පත්වනු ඇති" බව එම නිලධාරියා පැවසීය. එමෙන් ම, ඇමෙරිකාව විශ්වාස කරන්නේ ඊශ්‍රායලය තවදුරටත් හොඳ හවුල්කරුවෙකු ලෙස කටයුතු කරනු ඇති බව යැයි ද ඔහු සඳහන් කළේ ය.

මුලදී එම සැලැස්මට එකඟ වූ නමුත්, හමාස් සංවිධානය නිරායුධ වීමට ඇති කැමැත්ත සම්බන්ධයෙන් ඊශ්‍රායලය තවමත් දැඩි සැකයකින් පසුවේ.

බීබීසීය මෙම එකඟතාව දැක ඇති අතර, එයට අනුව හමාස් සංවිධානය සතුව ඉතිරිව ඇති බර අවි ලැයිස්තුගත කිරීම සහ ඒවා පලස්තීන අධීක්ෂණය යටතේ ගබඩා කිරීම සඳහා විධිවිධාන සලසා ඇත. මෙය ගාසා තීරය සඳහා ට්‍රම්ප්ගේ සහය ඇති සාම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට තිබූ විශාලතම බාධාව ඉවත් කිරීමට ඉඩ ඇත.

ඇමෙරිකානු නිලධාරීන් පැවසුවේ, ගාසා තීරයේ ක්‍රියාත්මක කුඩා සන්නද්ධ කණ්ඩායම් මුලින් ම නිරායුධ කරනු ඇති බව ය. ඉන් අනතුරුව, හමාස් සංවිධානය සිය රාජ්‍ය හමුදා යටිතල පහසුකම් ලෙස විස්තර කළ උමං මාර්ග, අවි ගබඩා සහ අවි නිෂ්පාදන පහසුකම් ඇතුළත් හමුදා යටිතල පහසුකම් ක්‍රමයෙන් ඉවත් කිරීම ආරම්භ කරනු ඇතැයි ඔවුහු සඳහන් කළහ. එය සැලකිය යුතු කාලයක් ගතවන ක්‍රියාවලියක් බව ද ඔවුහු පිළිගෙන ඇත.

US President Donald Trump, in a navy suit and a purple tie, speaks at the inaugural Board of Peace meeting. The background reads "Board of Peace"

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනවාරි මාසයේදී විධිමත් ලෙස පිහිටුවන ලද 'සාම මණ්ඩලය' (Board of Peace), ගාසා තීරය සඳහා ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 20කින් යුත් සාම සැලැස්මේ කොටසක් ලෙස ස්ථාපනය කරන ලදී

එක්සත් ජනපද නිලධාරීන් පැවසුවේ, මෙම සැලැස්ම හිතාමතා ම "ශුන්‍ය විශ්වාසය" මත සහ සත්‍යාපනය සමග ගොඩනගා ඇති බවත්, තම කැපවීම් ඉටු කරන තුරු හමාස් හෝ ඊශ්‍රායලය ඊළඟ අදියර කරා නොයන බවත් ය.

ගාසා තීරයේ මෙම නිවේදනය සම්බන්ධයෙන් මහ ජනතාව දැඩි උද්යෝගයක් නොදක්වති.

මීට පෙර ඇති වූ එකඟතා බොහෝ වාරයක් බිඳ වැටී, ජන ජීවිතවල සැලකිය යුතු යහපත් වෙනසක් ඇති කිරීමට අසමත් වී ඇති බැවින්, බොහෝ පලස්තීන වැසියෝ දේශපාලනික ප්‍රගතිය පිළිබඳ දැඩි සැකයකින් පසුවෙති.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයක් පසුගිය ඔක්තෝබර් මාසයේදී ක්‍රියාත්මක විය. නමුත් ගාසා තීරයේ හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, එතැන් පටන් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ අවම වශයෙන් පලස්තීනුවන් 1,168 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

එම කාලසීමාව තුළ ගාසා තීරයේදී එල්ල වූ පලස්තීන ප්‍රහාරවලින් ඊශ්‍රායල සෙබළුන් සිව් දෙනෙකු මියගොස් තිබේ.

කයිරෝව ගාසා සාම සැලැස්මේ මැදිහත්කරුවන් අතර රැස්වීමක් "ළඟදී ම" පවත්වනු ඇති බව රාජ්‍යයට අයත් පුවත් සේවයක් වන Al-Qahera News සිකුරාදා (ජූලි 31) වාර්තා කළේ ය. මැදිහත්කරුවන් අතර ඊජිප්තුව, ඇමෙරිකා එක්සත් ජනපදය, කටාර් සහ තුර්කිය වේ.

ඊට පෙර එදින, තම අනන්‍යතාව හෙළි නොකළ ආරංචි මාර්ග රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබුණේ, ඇමෙරිකාව මැදිහත් වූ ගාසා සාම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කයිරෝ නුවරදී මැදිහත්කරුවන් සහ හමාස් නායකයන් අතර පැවති සාකච්ඡාවලදී දුර්ලභ ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි. කෙසේ වෙතත්, යෝජිත කොන්දේසි සතුටුදායක නොවන බව ඊශ්‍රායල නිලධාරියෙකු ප්‍රකාශ කර තිබිණි.

ට්‍රම්ප්ගේ නිවේදනයෙන් අනතුරුව, නම හෙළි නොකළ ආරංචි මාර්ගයක් උපුටා දක්වමින් Times of Israel පුවත්පත වාර්තා කළේ, මෙම එකඟතාවට හමාස් සංවිධානයේ නියෝජිතයන් මෙන් ම සාම මණ්ඩලයේ සහ මැදිහත්කාර රටවල නියෝජිතයන් ද අත්සන් තබා ඇති බව ය.

එහෙත්, "ඊශ්‍රායල කාර්යාලයක්" නිකුත් කළ ප්‍රකාශයක දැක්වුණේ, නිරායුධ කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාව ඊශ්‍රායලයේ ඉල්ලීම් සපුරාලන්නේ නැති බව ය.

ඊට පෙර එදින, හමාස් සංවිධානය සමග සාකච්ඡා වෙමින් තිබූ එකඟතාවකට ඊශ්‍රායලය විරුද්ධ බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම වසරේ අප්‍රේල් මාසයේදී, ට්‍රම්ප්ගේ ගාසා සාම ප්‍රයත්නයන්හි ප්‍රධාන චරිතයක් ඉදිරිපත් කළ නිරායුධ කිරීමේ සැලැස්ම හමාස් සංවිධානය ප්‍රතික්ෂේප කළ බව, සාකච්ඡා පිළිබඳ දැනුවත් ජ්‍යෙෂ්ඨ පලස්තීන නිලධාරියෙක් බීබීසීයට පැවසීය.

මෙම මාසයේ මුල් භාගයේදී හමාස් සංවිධානය නව නායකයෙකු ලෙස කලීල් අල්-හයියා තෝරා පත්කර ගත්තේ ය. ඔහු, 2024 ඔක්තෝබර් මාසයේදී ගාසා තීරයේදී ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය කරන ලද යහ්යා සින්වාර් වෙනුවට එම ධූරයට පත්විය. හමාස් සංවිධානයේ ප්‍රධාන සාකච්ඡා නියෝජිතයා ලෙස කටයුතු කරන අල්-හයියා, සටන් විරාමය සම්බන්ධයෙන් පැවති වක්‍ර සාකච්ඡාවලදී එම සංවිධානයේ නියෝජිත කණ්ඩායම් මෙහෙයවූ අතර, ඒ සඳහා ඊජිප්තුවේ සහ කටාර් රාජ්‍යයේ මැදිහත්කරුවන් හමුවී තිබේ.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගාසා තීරයේ පවතින යුද්ධය අවසන් කිරීමට සහ යළි ගොඩනැගීමේ කටයුතු අධීක්ෂණය කිරීමට සහය වීම මෙම මණ්ඩලයේ මුල් අරමුණ ලෙස සැලකුණු බව බීබීසීය මෙම වසර මුලදී වාර්තා කළේය. එහෙත්, එහි යෝජිත ප්‍රඥප්තියේ පලස්තීන භූමිය පිළිබඳ කිසිදු සඳහනක් නොමැති අතර, එය එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉටු කරන ඇතැම් කාර්යභාර වෙනුවට ක්‍රියා කිරීමට සැලසුම් කර ඇති බවක් පෙනී යයි.

Palestinians inspect the site of an Israeli strike on a house whose residents were pre-warned by the Israeli military to evacuate. The ground is littered with debris

ඡායාරූප මූලාශ්‍රය, Reuters

2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාරයක් දියත් කළ අතර, ඉන් පුද්ගලයින් 1,200 දෙනෙකු මියගිය ගොස්, තවත් 251 දෙනෙක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගනු ලැබූහ.

ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ගාසා තීරයේ දැවැන්ත හමුදා මෙහෙයුමක් දියත් කළ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් විශ්වසනීය යැයි සැලකෙන, හමාස් සංවිධානය විසින් පාලනය කරනු ලබන එම ප්‍රදේශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව, ළමුන් 21,280 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 73,290කට අධික සංඛ්‍යාවක් එහිදී මිය ගියහ.

2024 වසරේදී, ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් යුද්ධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, හිටපු ආරක්ෂක අමාත්‍ය යෝආව් ගැලන්ට් සහ හමාස් සංවිධානයේ හමුදා නායක මොහොමඩ් ඩෙයිෆ් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කළේ ය. කෙසේ වෙතත්, ඊශ්‍රායලය පවසන්නේ මොහොමඩ් ඩෙයිෆ් ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇති බව ය.

අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ICC තීරණය "යුදෙව් විරෝධී" එකක් ලෙස හෙළා දුටු අතර, නෙතන්යාහු සහ ගැලන්ට්ට එරෙහිව නිකුත් කළ වරෙන්තු "වැදගත් ඓතිහාසික පූර්වාදර්ශයක්" සකස් කර ඇති බව හමාස් සංවිධානය ප්‍රකාශ කළේ ය.

2025 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විමර්ශන කොමිසමක් ප්‍රකාශ කළේ, ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීන වැසියන්ට එරෙහිව ජන සංහාරයක් සිදු කර ඇති බව ය. ඊශ්‍රායල විදේශ අමාත්‍යංශය එම වාර්තාව සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කළ අතර, එය "විකෘති කළ සහ අසත්‍ය" වාර්තාවක් ලෙස හෙළා දුටුවේ ය.