2026 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු 4ක්

ඡායාරූප මූලාශ්‍රය, Facebook
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 7
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී පැවැත්වීමට නියමිත '2026 ග්ලාස්ගෝ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනෙකු සභාභාගී වීමට නියමිත ය.
ක්‍රීඩා ඉසව් හතක් යටතේ තරග වදින මෙම තරගාවලියට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර පිරිමි ක්‍රීඩකයින් 27 දෙනෙක් සහ කාන්තා ක්‍රීඩිකාවන් 13 දෙනෙක් සිටිති.
ක්‍රීඩා උළෙල 2026 ජූලි 23 සිට අගෝස්තු 2 දක්වා පැවැත්වීමට නියමිත ය.
මේ, ඊට සුදුසුකම් ලබා සිටින ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පිළිබඳව කළ සොයා බැලීමකි.
ඒ. පුවිතරන්

ඒ. පුවිතරන් උතුරෙන් බිහිව ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන එන දක්ෂ මලල ක්‍රීඩකයෙකි. ඔහුගේ ක්‍රීඩා ඉසව්ව වන්නේ රිටි පැනීම ය.
2000 වසරේ යාපනයේදී උපත ලද පුවිතරන්ට සහෝදරයෙකු ද සිටී. පුවිතරන් චාවකච්චේරි හින්දු විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
පාසල් සිසුවෙකුව සිටියදී ඔහු 2016 වසරේදී ක්‍රීඩාවට යොමු විය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 16කි.
පුවිතරන් පළමු වරට සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියට සහභාගි වූයේ ද 2016 වසරේදී ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
තම පළමු සමස්ත ලංකා පාසල් තරගාවලියෙන් ම රන් පදක්කම දිනා ගැනීමට ඔහු සමත් විය.
තම පුහුණුකරු කනතීපන් තමාගේ ක්‍රීඩා ජීවිතයේ විශාල වෙනසක් සිදුකළ අයෙකු බවට පුවිතරන් සිහිපත් කරයි. තම ක්‍රීඩා ජීවිතයට විශාලම ශක්තිය ලබා දුන්නේ ද පුහුණුකරු බව පුවිතරන් අප සමග සඳහන් කළේ ය.
ඉන් අනතුරුව 2019 වසර දක්වා ඔහු සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලි සියල්ලේ ම රිටි පැනීම බාලක ඉසව්වේ රන් පදක්කම් දිනාගත්තේ ය.
පුවිතරන්, 2019 වසරේදී රන් පදක්කම දිනා ගත්තේ නව තරගාවලි වාර්තාවක් ද සමගිනි.
2022 වසර පුවිතරන්ගේ ක්‍රීඩා ජීවිතයේ දැඩි පසුබෑමට ලක් වූ කාල සීමාව බවට ඔහු සිහිපත් කරයි.
එම කාල සීමාව තුළ තම දක්ෂතාවල පසුබෑමක් සිදුවූ නමුත් පසු කාලීනව නැවතත් දක්ෂතා අතරට පිවිසීමට හැකි වූ බව පුවිතරන් පැවසුවේ ය.
මුල් වරට සහභාගී වූ ජාතික මහා ක්‍රීඩා උළෙල දෙකේදී ඔහුට හිමි වූයේ ලෝකඩ පදක්කම් ය. 2024 සහ 2025 ජාතික මහා ක්‍රීඩා උළෙලේදී රිටි පැනීම පිරිමි ඉසව්වේ ශූරයා බවට පත් වූයේ පුවිතරන් ය. ඔහු එම වසර දෙකේදී ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී ද රන් පදක්කම් දිනා ගත්තේ ය.
මේ වන විට රිටි පැනීම පිරිමි ඉසව්වේ ජාතික වාර්තාවට හිමිකම් කියන්නේ ද ඔහු ය. පුවිතරන් අවස්ථා හතරකදී එම වාර්තාව බිඳ දමා ඇත.
බූසාන් ජාත්‍යන්තර රිටි පැනීමේ තරගාවලියට ද ඔහු සහභාගි විය.
අයෝමාල් අකලංක ලියනගේ

ඡායාරූප මූලාශ්‍රය, Ayomal Akalanka / Facebook
2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරට මීටර් 400 කඩලු මතින් දිවීම ඉසව්වෙන් තරග කරන අයෝමාල් අකලංක ලියනගේ ද ඇතුළත් වේ.
හැටන් ප්‍රදේශයෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩාව වර්ණවත් කරන අයෝමාල්ට වැඩිමහල් සහෝදරයෙකු ද සිටී.
අයෝමාල්, නව වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබුවේ හැටන් ශ්‍රී පාද මධ්‍ය මහා විද්‍යාලයෙනි. පාසල් කාලයේදී අයෝමාල් පාපන්දු ක්‍රීඩාවට ද සම්බන්ධ විය.
මලල ක්‍රීඩාවට වැඩි කැමැත්තක් දැක්වූ ඔහු එම ක්‍රීඩා කටයුතු වෙනුවෙන් ම අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය. පසුව ඔහුගේ ඉසව්ව වූයේ මීටර් 400 කඩුලු මතින් දිවීම ධාවන ඉසව්ව ය.
නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්නගේ ද පුහුණුකරු ලෙස කටයුතු කළ අනුර බණ්ඩාර යටතේ අයෝමාල් තම පුහුණුවීම් කටයුතුවල නිරත වේ.
2019 වසරේ සිට පාසල් ක්‍රීඩා, ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශුරතාවලිය, ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය වැනි තරගාවලි රැසකදී තම ඉසව්ව ජය ගනිමින් අකලංක තරග බිමේ ඉදිරියට ම පැමිණියේ ය.
ඉහත තරගාවලිවලදී ඔහු අවස්ථා 12කට වැඩි ගණනකදී අදාළ ඉසව්වල වාර්තා බිඳ දමා ඇත.
2023 වසරේ උස්බෙකිස්ථානයේ පැවති පස් වන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී අකලංක ලෝකඩ පදක්කමක් දිනා ගත්තේ ය. එම වසරේදී ම ට්‍රිනිඩෑඩ් සහ ටුබේගෝහි පැවති පොදුරාජ මණ්ඩල යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගි වූ ඔහු රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය. ඒ, තත්පර 51.61කින් තරගය නිම කරමිනි.
2024 සහ 2025 වසරවලදී ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 400 කඩුලු මතින් දිවීම පිරිමි ඉසව්වේ ශූරයා බවට පත් වූයේ අකලංක ය. 2024 ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ද ඔහු ය. ඒ, තත්පර 51.42ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි. එය එම ඉසව්වට ඒ වන විට ඔහු ප්‍රදර්ශනය කර තිබූ ඉහළ ම දක්ෂතාව වේ.
2024 වසරේදී ඩුබායිහිදී පැවති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ 4 වන ස්ථානය ඔහුට හිමි විය. එම වසරේදී ම පේරුහිදී පැවති කනිෂ්ඨ මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිට සහභාගි වීමට ද ඔහු වාසනාවන්ත විය. එහිදී ඔහු 10 වන ස්ථානයට පත් විය.
2025 ඔහු සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය දිනා ගත්තේ ය. ඒ, වයස අවුරුදු 20න් පහළ බාලක කඩුලු මතින් දිවීම ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් ද සමගින් ජය ගැනීම හේතුවෙනි. ඔහු එහිදී ප්‍රදර්ශනය කළ දක්ෂතාව තත්පර 51.15කි.
තායිලන්තයේදී පසුගිය වසරේ පැවති විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන ස්ථානය අකලංකට හිමි විය.
2025 වසරේදී ඉන්දියාවේ රංචිහිදී පැවැති දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 400 කඩුලු මතින් දිවීම පිරිමි ඉසව්වේ රීදී පදක්කමට හිමිකම් කීවේ ද අයෝමාල්ය. තත්පර 50.29ක් දක්ෂතාවක් ඔහු එහිදී ප්‍රදර්ශනය කළේය.
2025 ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය වන විට තම දක්ෂතා තව දුරටත් වර්ධනය කර ගැනීමට ඔහු සමත් විය. ඔහු එහිදී රන් පදක්කම දිනා ගත්තේ, තත්පර 50.27ක තරග නිමි කාලයක් ද සටහන් කරමිනි.
මෙම වසරේ ජූනි මාසයේදී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ පැවැති 62 වන ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ වයස අවුරුදු 23න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ ද අකලංක ය. ඒ, නව තරගාවලි වාර්තාවක්ද සමගින් මීටර 400 කඩුලු මතින් දිවීම පිරිමි ඉසව්ව ජය ගැනීම හේතුවෙනි. ඔහු එවර සටහන් කළ කාලය තත්පර 49.95කි.
චීනයේ පැවැති වයස අවුරුදු 23න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර 400 කඩුලු මතින් දිවීම ඉසව්වට සහභාගි වූ අයෝමාල් එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවමිනි.
පසුගිය 11 වන දා පැවැති එම තරගයේදී ඔහු ප්‍රදර්ශනය කළ දක්ෂතාව තත්පර 49.03කි. අයෝමාල් එදින බිඳ දැමුවේ මීට වසර 26ට පෙර ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී හරිජන් රත්නායක පිහිටුවා තිබූ වාර්තාවකි.
තම පළමු පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ම පෞද්ගලික හොඳ ම දක්ෂතාව ප්‍රදර්ශනය කරමින්, පදක්කමක් කරා යාම අකලංකගේ අරමුණ ය.
හර්ෂ කරුණාරත්න

ඡායාරූප මූලාශ්‍රය, Harsha Karunarathne/ Facebook
හර්ෂ කරුණාරත්න මීටර් 800 ධාවන ඉසව්වෙන් ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දක්වන ක්‍රීඩකයෙකි.
මෙවර පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක කණ්ඩායමට ඔහු ද ඇතුළත් ය.
2000 වසරේ ජූනි 26 වන දා උඩුදුම්බරදී උපත ලද හර්ෂට බාල සහෝදරියන් දෙදෙනෙකි.
ඉන් වැඩිමහලු සහෝදරිය මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ගෙනා තරුෂි කරුණාරත්න ය.
ඔහුගේ බාල සහෝදරිය ගිහාරා ද මලල ක්‍රීඩිකාවකි. උඩුදුම්බර චූලානන්ද ද්විතීයික පාසලේ මුලින් අධ්‍යාපනය හැදෑරූ හර්ෂ, මලල ක්‍රීඩාවට දැක්වූ දක්ෂතා හේතුවෙන් වළල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට ඇතුළත් විය.
එතැන් පටන් මේ දක්වා ඔහුගේ පුහුණුකරු වන්නේ ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු ය.
හර්ෂ, අවුරුදු 15න් පහළ වයස් කාණ්ඩයේ සිට මීටර් 400 සහ මීටර් 800 ධාවන ඉසව් සඳහා ඔහු යටතේ පුහුණුවීම් සිදුකරයි.
හර්ෂ පළමු වරට සමස්ත ලංකා මට්ටමේ තරගයකට සහභාගි වූයේ ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවලියට ය.
දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වූ ඔහු එහිදී රන් පදක්කමක් දිනා ගත්තේ ය.
2015 වසරේ සිට පාසල් මලල ක්‍රීඩා ශුරතාවලියේ මීටර 800 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට හර්ෂ සමත් විය.
2015 වසරේ සිට 2018 වසර දක්වා ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ඔහු ය. 2017 වසරේදී තායිලන්තයේ පැවති ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියට තරග කළ හර්ෂට හිමිවූයේ රිදී පදක්කමකි.
ඔහු එහිදී මිනිත්තු 1:54.99ක කාලයක් සටහන් කළේ ය. අනතුරුව මලල ක්‍රීඩා කනිෂ්ඨ ලෝක ශූරතාවලියට එක් වූ ඔහු එහිදී අටවන ස්ථානයට පත්විය.
2018 වසරේදී හොංකොංහිදී පැවති ආසියානු රට හරහා දිවීමේ ශූරතාවලියේ රන් පදක්කම දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමට ද හර්ෂ ඇතුළත් විය.
2018 වසරේදී ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියට තරග කළ හර්ෂ ලෝකඩ පදක්කම දිනා ගත්තේ ය.
2021 වසරේ සිට 2025 වසර දක්වා අවස්ථා හතරකදී ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 800 පිරිමි ධාවන ඉසව්වේ ශූරයා බවට පත්වූයේදී ඔහු ය.
පසුගිය වසරේදී ඉන්දියාවේ පැවති දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර 800 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම හර්ෂ දිනා ගත්තේ ය.
එමෙන් ම පසුගිය මාසයේ මලයාසියාවේ පැවති විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ද මීටර 800 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ඔහු සමත් විය. ඒ, මිනිත්තු 1:50.61ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි.
තරිඳු දසුන් සමරවීර

ඡායාරූප මූලාශ්‍රය, Dasun Samaraweera / Facebook
මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක කණ්ඩායමේ උස පැනීමේ ඉසව්වෙන් තරග කරන ක්‍රීඩකයා වන්නේ තරිඳු දසුන් සමරවීර ය.
1999 වසරේදී උපත ලද දසුන්ට බාල සහෝදරයෙකු ද සිටී. ඔහු මලල ක්‍රීඩාවට යොමු වන්නේ ගාල්ල මහින්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේදී ය.
පියල් වීරසේකර ඇතුළු පුහුණුකරුවන් තිදෙනෙකුගේ ගුරුහරුකම් මැද ඔහු උස පැනීම ඉසව්වේ දක්ෂතා වර්ධනය කර ගත්තේ ය.
දසුන් පළමු වරට සමස්ත ලංකා ක්‍රීඩා තරගාවලියකට සහභාගි වන්නේ 2014 වසරේදී ය. ඒ, ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශුරතාවලියට ය. ඔහු එහිදී රිදී පදක්කමක් දිනා ගත්තේ ය.
2017 වසරේදී ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩක සංචිතයට එක්වී ප්‍රවීණ ක්‍රීඩක මංජුල කුමාර යටතේ පුහුණුවීම් කටයුතු සිදු කිරීමේ අවස්ථාව දසුන්ට හිමි විය.
මංජුල කුමාර යනු, වසර ගණනාවක් උස පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියමින් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ තරගාවලිවලදී ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයෙකි.
2018 වසරේදී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී උස පැනීම පිරිමි ඉසව්වේ රන් පදක්කම දසුන් දිනා ගත්තේය.
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා, ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවලිය සහ ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය වැනි දේශීය තරගාවලිය රැසකදී දසුන් දක්ෂතා ප්‍රදර්ශනය කර තිබේ.
2024 සහ 2025 වසර දෙකේදී ම ජාතික මහා ක්‍රීඩා උළෙලේ උස පැනීම ඉසව්වේ ශූරයා බවට පත් වූයේ ඔහු ය.
ක්‍රීඩාවට පමණක් නොව අධ්‍යාපනයට ද එක සේ දස්කම් දක්වන දසුන්, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ "ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණය" පිළිබඳව ගෞරව උපාධිධාරියෙකි.
විශ්වවිද්‍යාල මට්ටමේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගනිමින් ක්‍රීඩාවෙන් ද ඉදිරියට එම ගිය මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනා අතරට ඔහු ද ඇතුළත් වේ.
2025 වසරේ ඉන්දියාවේ පැවති දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ උස පැනීමේ ඉසව්වේ ශූරයා බවට පත්වූයේ දසුන් ය.
මෙම වසරේදී මැලේසියාවේ පැවති විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ද ඔහු රන් පදක්කම දිනාගත්තේ ය.
පොදුරාජ්‍ය මණ්ඩලයී ක්‍රීඩා උළෙල සඳහා පැවති තේරීම් තරගාවලියේදී දැක්වූ දක්ෂතා සහ ශ්‍රේණිගතකිරීම් අනුව දසුන්ට මෙවර පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා වරම් හිමි වී ඇත.
































