මෝඩි මූල්‍ය ප්‍රතිසංස්කරණයට එරෙහිව තවත් මහජන උද්ඝෝෂණ

Published

ඉහළ වටිනාකම් සහිත මුදල් නෝට්ටු අවලංගු කිරීමට ගත් තීන්දුවත් සමඟ රටතුළ උද්ගත වී පවතින මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියානු ආණ්ඩුවට විරෝධය පළ කිරීමේ උද්ඝෝෂණ රැළි රැසක් අද (නොවැ.28) දිනයේ ද ඇතැම් ඉන්දීය නගරවලින් වාර්තා විය.

එම උද්ඝෝෂණ පැවැත්වුණේ, ඉන්දීය කොංග්‍රස් පක්ෂය හා ඊට අනුබද්ධ වෙනත් දේශපාලන ව්‍යාපාර කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසිනි.

පැරණි මුදල් නෝට්ටු අවලංගු කිරීමේ තීන්දුව ඉන්දියාව තුළ බරපතළ මූල්‍ය අවුලක් ඇතිකරමින් ආර්ථිකය අඩපණ කිරීමට හේතුවිය.

ලක්නව්,කොල්කටා සහ බැංගලෝර් වැනි නගරවල අද දිනය පුරා විරෝධතා ව්‍යාපාර පෙරට යමින් තිබුණු බව වාර්තා විය.

මේ අතර දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ බලය හිමි වාම සන්ධානය තුළ නියෝජනයවන දේශපාලන පක්ෂ අද උදෑසන පටන් සන්ධ්‍යාව වනතෙක් ප්‍රාන්තයේ සියලු කටයුතු අත්හිටුවනමෙන් ඉල්ලීමක් කර තිබුණි.

එහෙත් බිහාර් සහ ඔරිස්සා වැනි ප්‍රාන්තවල මහඇමතිවරුන් ද ඇතුළුව කලාපයේ ප්‍රධාන පෙළේ නායකයන් රැසක් ඉහත කී ආකාරයේ විරෝධතා ව්‍යාපාරවලට හවුල්වීම ප්‍රතික්ෂේප කරන ලද බව වාර්තා විය.

ඉහළ වටිනාකම් සහිත පැරණි මුදල් නෝට්ටු අවලංගු කිරීමට අගමැති නරේන්ද්‍ර මෝඩි ගත් තීන්දුව දූෂණ මැඩලීමට ඉවහල්වන හෙයින් එම ක්‍රියාමාර්ගය අනුමත කළයුතු බව ඔවුන් පෙන්වා දී ඇත.