හිරේ දාල නවක වදය නවත්වන්න බැහැ -අන්තරය

Published

නවක වදය උප සංස්කෘතියක් බවට පත් වී ඇති බවත් එය ක්‍රියාත්මක වන්නේ විශ්වවිද්‍යාල තුළ පමණක් නොවන බවත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

මෙම උප සංස්කෘතිය කාර්යාල, පාසැල්, හමුදා කඳවුරු, පොලිස් ස්ථාන සහ වෙනත් ආයතන තුළ ද පවතින බවයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පවසන්නේ.

නවක වදය දුන් බව පවසමින් සිසුන් අත්අඩංගුවට ගැනීම පිටුපස ශිෂ්‍ය මර්දනයක් ක්‍රියාත්මක වන බවට ඔහු චෝදනා කරයි.

සිසුවෙකුට එරෙහිව පැමිණිල්ලක් ඇත්නම් එය විභාග කිරීම වරදක්දැයි බීබීසීයේ තිසර රතුවිතාන කළ විමසීමට පිළිතුරු දෙමින් කැඳවුම්කරු ලහිරු වීරසේකර කියා සිටියේ මෙය 'හිරේ දමා නැවැත්විය හැකි ප්‍රශ්නයක්' නොවන බවයි.

සිසුන්ට එල්ල වූ ප්‍රහාරයන් පිළිබඳවත් මේ තරම් ඉක්මනින් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි, නවක වදය දුන් බවට ලැබුණු පැමිණිල්ලක් මත සිසුන් අත්අඩංගුවට ගැනීම ගැන අදහස් දක්වමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රශ්න කරයි.

උද්ඝෝෂණ සහ පෙළපාලි පොලිසියෙන් විසුරුවා හරින්නේ ඊට නිසි අවසරයක් ලබා නොගැනීම නිසා නොවේදැයි කළ විමසීමට ඔහු ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

'විරෝධතා සහ පා ගමන් පොලිසියෙන් අවසර අරන් කරන්නේ කොහොමද කියල අපිට නම් තේරෙන්නෙ නැහැ.'

තම අයිතීන් වෙනුවෙන් ඕනෑම මොහොතක වීදි බැසීමට තමන්ට අයිතියක් ඇති බවයි ඔහු අවධාරණය කළේ.