හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ මරණය පිළිබඳ නඩුකරයේදී අද සිදුවූ දේ

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට වෙඩි වැදුණු බවට සැක කෙරෙන මිලිමීටර් 9 පිස්තෝල වර්ගයේ ගිනි අවිය, ඊට භාවිත කර ඇති පතුරම්වල කොපු සහ මෙම අපරාධයට අදාළ අනෙකුත් සියලු ම නඩු භාණ්ඩ එළැඹෙන 28 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළේ ය.

එහිදී වැඩිදුරටත් නියෝග කළේ, එම භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඊට අදාළ රස පරීක්ෂක වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ය.

මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදී මියයාමේ සිද්ධියට අදාළව මාලබේ පොලිසිය මගින් මීට පෙර අධිකරණය හමුවේ ගොනු කර තිබූ බී 16426/2026 අංක දරන නඩුකරය බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය මෝසමක් මගින් යළි කැඳවූ අවස්ථාවේදී ය.

මෝසමක් මගින් මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේ බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ, හිටපු පොලිස්පතිවරයෙකු වන සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදී මිය යාමේ සිද්ධියට අදාළව මෙතෙක් මාලබේ පොලිසිය මගින් සිදුකළ විමර්ශන බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය යටතට පත් කරගෙන සියලු ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන ලෙසට අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 125 වන වගන්තිය මගින් තමාට පැවරී ඇති බලතල ප්‍රකාරව බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා තම ඒකකයට නියෝග ලබා දී ඇති බව ය.

ඒ අනුව, හිටපු පොලිස්පතිවරයා වෙඩි වැදී මිය යාමේ සිද්ධියට අදාළව මාලබේ පොලිසිය මගින් මේ දක්වා සිදුකළ සියලු විමර්ශන කටයුතු තම ඒකකය යටතට පත්කර ගන්නා බව අධිකරණයට දැනුම් දුන් බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය ඒ සඳහා අධිකරණයේ අවසරය ලබාදෙන ලෙස ද ඉල්ලා සිටියේ ය.

බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් අධිකරණයට කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස හිටපු පොලිස්පතිවරයා වෙඩි වැදී මිය යාමේ සිද්ධියට අදාළව මේ දක්වා මාලබේ පොලිසිය මගින් සිදු කළ විමර්ශන බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය යටතට පවරා ගැනීමට අධිකරණයේ අවසරය ලබා දුන්නේය.

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, මාලබේ තලාහේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩි වැදීමෙන් මිය ගියේ ජූලි 17 වන දා පෙරවරුවේදී ය.

හිටපු පොලිස්පතිවරයාගේ මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ නැගෙනහිර කොළඹ (මුල්ලේරියාව) මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ස්වකීය පශ්චාත් මරණ පරීක්ෂණයේදී හිටපු පොලිස්පතිවරයාගේ මරණයට හේතුව නිශ්චිතව ප්‍රකාශ නොකොට විවෘත තීන්දුවක් ලබා දුන්නේ ය.

ඒ අනුව, හිටපු පොලිස්පතිවරයාගේ මෘත දේහය සම්බන්ධයෙන් පවත්වා ඇති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මරණයට හේතු සහිතව ඉදිරි දිනයකදී නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ඇත.