ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මදුරෝ අල්ලාගත් මෙහෙයුම ගැන ඔට්ටු තබා ඩොලර් ලක්ෂ 4ක් දිනූ ඇමෙරිකානු සෙබළෙක් අත්අඩංගුවට
- Author, නාර්දීන් සාද්
- කියවීමේ කාලය: මිනිත්තු 4
වෙනිසියුලාවේ හිටපු නායකයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට පෙර ඔහු ධූරයෙන් ඉවත් කරන බවට ඔට්ටු ඇල්ලූ බවට චෝදනා එල්ල වී ඇති නිකොලස් මධුරෝ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ ඇමෙරිකානු විශේෂ හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
රහසිගත තොරතුරු මත පදනම්ව, ක්‍රිප්ටෝ මුදල් ඒකකවලින් ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය වේදිකාවක් වන පොලිමාර්කට්හි (Polymarket) ගනුදෙනු කළ බවට චෝදනා එල්ල වූ ගැනන් කෙන් වැන් ඩයික්ට (Gannon Ken Van Dyke) එරෙහිව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා ගොනු කර ඇත.
"එය පැහැදිලිව ම අභ්‍යන්තර තොරතුරු මත සිදුවූ ගනුදෙනුවක් (insider trading) වන අතර ෆෙඩරල් නීතිය යටතේ නීති විරෝධීයි," අධිකරණ දෙපාර්තමේන්තු නිලධාරීහු පැවසූහ.
උතුරු කැරොලිනාවේ ෆෝර්ට් බ්රැග්හි ස්ථානගත කර ඇති එක්සත් ජනපද හමුදාවේ ක්‍රියාකාරී රාජකාරියේ නියුතු සොල්දාදුවෙකු වූ වැන් ඩයික්, ඔට්ටු ඇල්ලීම්වලින් ඩොලර් 409,000කට (£303,702) වැඩි මුදලක් දිනා ගත්තේ ය.
ජනවාරි 3 වන දින රාත්‍රී කාලයේ සිදු කරන ලද සුවිශේෂී වැටලීමකදී ඇමෙරිකානු හමුදා මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් කැරකස්හිදී අල්ලා ගත් අතර, ආයුධ සහ මත්ද්‍රව්‍ය වැරදි පිළිබඳ චෝදනාවලට මුහුණ දීම සඳහා ඔවුන් නිව්යෝර්ක් වෙත ගෙන එන ලද නමුත් ඔවුහු එම චෝදනා ප්‍රතික්ෂේප කරති.
"ලාභයක් ලබා ගැනීම සඳහා" "ඔපරේෂන් ඇබ්සොල්යුට් රිසෝල්ව්" ලෙස හැඳින්වෙන මෙහෙයුමේ වේලාව සහ මෙහෙයුමේ ප්‍රතිඵලය පිළිබඳව වැන් ඩයික් ඔට්ටු ඇල්ලූ බවට චෝදනා එල්ල වී ඇතැයි අධිකරණ දෙපාර්තමේන්තුව බ්‍රහස්පතින්දා (අප්‍රේල් 23) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
2025 දෙසැම්බර් 26 හෝ ඊට ආසන්න දිනකදී, වැන් ඩයික් විසින් පොලිමාර්කට් ගිණුමක් නිර්මාණය කර මදුරෝ සහ වෙනිසියුලාව ආශ්රිත ඔට්ටු තැබීම් ආරම්භ කළ බවට අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා කරයි. ඔපරේෂන් ඇබ්සොල්යුට් රිසෝල්ව් පිළිබඳ රහසිගත ප්‍රසිද්ධ නොවන තොරතුරු සන්තකයේ තබා ගනිමින් ඩොලර් 33,000කට (£24,500) වඩා ඔට්ටු ඇල්ලූ බවට ඔහුට චෝදනා එල්ල වේ.
බ්‍රහස්පතින්දා සමාජ මාධ්‍යවල නිවේදනයක් පළ කරමින්, පොලිමාර්කට් ආයතනය මෙසේ පැවසීය: "රහස් රජයේ තොරතුරු මත ගනුදෙනු කරන පුද්ගලයෙකු හඳුනාගත් විට, අපි එම තොරතුරු අධිකරණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඔවුන්ගේ විමර්ශනයට සහයෝගය දැක්වූයෙමු."
"පොලිමාර්කට්හි අභ්‍යන්තර තොරතුරු මත සිදුවන ගනුදෙනුවලට කිසිදු අවස්ථාවක් නොමැත. අද කළ අත්අඩංගුවට ගැනීම එම පද්ධතිය ක්‍රියාත්මක වන බවට සාක්ෂියකි," යනුවෙන් එම සමාගම සඳහන් කර තිබේ.
බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද අධිචෝදනා පත්රයකට අනුව, වැන් ඩයික්ට පෞද්ගලික වාසි සඳහා රහස්‍ය රජයේ තොරතුරු නීතිවිරෝධී ලෙස භාවිත කිරීම, රහසිගත රාජ්‍ය තොරතුරු සොරකම් කිරීම, භාණ්ඩ වංචාව, වයර් වංචාව සහ නීති විරෝධී මුදල් ගනුදෙනු සිදු කිරීම යන චෝදනා එල්ල වී තිබේ.
"අපගේ නිල ඇඳුම් ඇඳගත් පිරිමින් සහ කාන්තාවන් ඔවුන්ගේ මෙහෙවර හැකිතාක් ආරක්ෂිතව සහ ඵලදායී ලෙස ඉටු කිරීම සඳහා රහසිගත තොරතුරු විශ්වාස කර ඇති අතර, මෙම ඉතා සංවේදී තොරතුරු පෞද්ගලික මූල්‍ය වාසි සඳහා භාවිත කිරීම තහනම් කර ඇත," යනුවෙන් වැඩබලන එක්සත් ජනපද නීතිපති ටොඩ් බ්ලැන්ච් පැවසීය.
"පුරෝකථන වෙළෙඳපොළවල් වෙත පුළුල් ප්‍රවේශයක් තිබීම සාපේක්ෂව නව සංසිද්ධියකි, නමුත් ජාතික ආරක්ෂක තොරතුරු ආරක්ෂා කරන ෆෙඩ්රල් නීති සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක වේ."
නඩුව විභාග කරන නිව්යෝර්ක්හි එක්සත් ජනපද නීතිඥ ජේ. ක්ලේටන් තවදුරටත් පැවසුවේ, පුරෝකථන වෙළෙඳපොළවල් "පෞද්ගලික වාසි තකා අනිසි ලෙස භාවිත කරන ලද රහස්‍ය හෝ වර්ගීකරණය කරන ලද තොරතුරු භාවිත කිරීම සඳහා තෝතැන්නක් නොවන" බව ය.
අධිකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවේ, සොල්දාදුවෙකු ලෙස වැන් ඩයික් "හමුදා මෙහෙයුම්වලට අදාළව 'කිසි විටෙකත් රහසිගත හෝ සංවේදී තොරතුරක් ලිවීමෙන්, වචනවලින්, හැසිරීමෙන් හෝ වෙනත් ආකාරයකින් හෙළි නොකරන, ප්‍රකාශයට පත් නොකරන හෝ හෙළි නොකරන' බවට පොරොන්දු වූ හෙළිදරව් නොකිරීමේ ගිවිසුම් අත්සන් කර ඇති," බව ය.
2025 දෙසැම්බර් 8 වන දා සිට අවම වශයෙන් 2026 ජනවාරි 6 දක්වා, වැන් ඩයික් විසින් ඔපරේෂන් ඇබ්සොල්යුට් රිසෝල්ව් මෙහෙයුම සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා සම්බන්ධ වූ බවත්, එම මෙහෙයුම පිළිබඳ සංවේදී, ප්‍රසිද්ධ නොවන, රහසිගත තොරතුරු වෙත ප්‍රවේශය තිබූ බවත් ෆෙඩ්රල් නීතිඥයෝ චෝදනා කරති.
ස්වාධීන ඇමෙරිකානු ෆෙඩ්රල් ආයතනයක් වන Commodity Futures Trading Commission පැවසුවේ, අභ්‍යන්තර තොරතුරු මත ගනුදෙනුවල නියැලීම සම්බන්ධයෙන් වැන් ඩයික්ට එරෙහිව පැමිණිල්ලක් ද ගොනු කර ඇති බව ය.
මෙම සිද්ධියට සම්බන්ධයක් නැති බ්‍රහස්පතින්දා පැවති උත්සවයකදී මෙම සිද්ධිය පිළිබඳව විමසූ විට, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, ඒ පිළිබඳව තමා දැනුවත් වී නැති අතර, ඒ පිළිබඳව සොයා බලන බව ය.
පුරෝකථන වෙළෙඳපොළ අභ්‍යන්තර ගනුදෙනුවලට බලපෑ හැකි බවට ඇති කනස්සල්ල පිළිබඳව විමසූ විට, ජනාධිපතිවරයා පැවසුවේ, "ඒ කිසිවක් ගැන තමා සතුටු නොවන" බව ය.
"අවාසනාවකට, මුළු ලෝකය ම යම් ආකාරයක කැසිනෝවක් බවට පත්ව තිබෙනවා, ලෝකය පුරා, යුරෝපයේ සහ සෑම තැනක ම සිදුවන දේ දෙස බලන විට, ඔවුන් ඔට්ටු ඇල්ලීම්වල නිරත වෙමින් සිටිනවා," ඔහු පැවසීය. "මම කවදාවත් ඒකට එතරම් කැමැත්තක් දක්වපු කෙනෙක් නෙවෙයි."